Home Sinhala Fabian සහ මෙන්ඩිස් Jaffna නැවතත් අවසන් මහා තරගයකට රැගෙන යයි!

Fabian සහ මෙන්ඩිස් Jaffna නැවතත් අවසන් මහා තරගයකට රැගෙන යයි!

LPL 2024

2
LPL 2024

2024 LPL Qualifier 2 තරගයෙන් වත්මන් LPL ශූර Kandy Falcons කණ්ඩායමට එරෙහිව එක් ලකුණක තියුණු ජයක් වාර්තා කරමින් සිය සිව් වැනි LPL අවසන් මහා තරගයට පිවිසීමට Jaffna Kings කණ්ඩායම අද (20) රාත්‍රියේ සමත් වුනා.

තරගයේ කාසියේ වාසිය Kandy නායක වනිඳු හසරංග සතු වූ අතර, ඔහුගේ ආරාධනයෙන් Jaffna Kings කණ්ඩායම තරගයේ පළමු ඉනිම දියත් කිරීමට පිටියට පිවිසුණා.

මෙහි දී පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 47ක් එක් කිරීමට සමත් වූ අතර, පැතුම් ලකුණු 18කට දැවී යාමත් සමඟ එම සබඳතාව බිඳ වැටුණා. ඉන් පසුව පිටියට පිවිසි Jaffna අනෙක් මුල් පෙළ සහ මැද පෙළ පිතිකරුවන්ට එතරම් සාර්ථක ඉනිම් දියත් කිරීමට නොහැකි වූ නමුත් ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් සිය විස්සයි විස්ස දිවියේ විශිෂ්ටතම ඉනිමක් දියත් කරමින් ශතකයක් කරා යෑමට සමත් වීම නිසා Jaffna Kings කණ්ඩායමට හොඳ ලකුණු සංඛ්‍යාවක් කරා යාමට ඉඩ විවර වුනා. මෙහි දී කුසල් විසින් පන්දු 54ක් තුළ නොදැවී ලකුණු 105ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔහු ඒ වෙනුවෙන් හතරේ පහර 12ක් සහ හයේ පහර 05ක් එල්ල කිරීමට සමත් වුනා.

මීට අමතරව Jaffna ඉනිමේ අවසන් බාගය ශක්තිමත් කිරීමට දායක වූ Azmatullah Omarzai හයේ පහර 3ක් ද සමඟින් පන්දු 13ක් තුළ ලකුණු 26ක් ලබා ගැනීමට සමත් වුනා.

Jaffna Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 187ක් ලබා ගැනීමට සමත් වූ අතර, මෙහි දී Kandy Falcons වෙනුවෙන් Mohammad Hasnain, රමේෂ් මෙන්ඩිස් සහ චතුරංග ද සිල්වා කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුනා.

Jaffna වෙතින් ලද දැවැන්ත ඉලක්කය හඹා යාම සඳහා දිනේෂ් චන්දිමාල් සහ Andre Fletcher විසින් Kandy වෙනුවෙන් ඉනිම ආරම්භ කළ අතර, ඔවුන් දෙදෙනා ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 48ක් එකතු කිරීමට සමත් වුනා. මෙහි දී Andre Fletcher හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟ පන්දු 21කින් ලකුණු 38ක් ලබා ගැනීමට සමත් වූ අතර, Mohammad Haris හයේ පහර 2ක් සමඟ ලකුණු 26ක් ලබා ගැනීමට සමත් වුනා.

මීට අමතරව ඉනිමේ අංක හතර පිතිකරු වූ කමිඳු මෙන්ඩිස් ද පන්දු 23ක් තුළ ලකුණු 32ක් ලබා ගැනීමට සමත් වූ නමුත් ඔවුන් කිසිවකු හෝ ඉහළ ලකුණක් වෙත යාමට සමත් නොවීම Kandy ඉනිම තරමක් අසීරු තත්වයකට පත් කළා.

Kandy ඉනිමේ 8 වැනි කඩුල්ල 17 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේ දී දැවී ගිය අතර, එතැන් පටන් කඩුල්ලේ එක් වූ පවන් රත්නායක සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා විසින් ඉනිමේ 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 42ක වටිනා සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා. එතෙක් වෙලා තරගයේ ජයග්‍රහණය Jaffna වෙනුවෙන් ස්ථිර වී තිබූ නමුත් මෙම සබඳතාව ඒ පිළිබඳ යම් සැකයක් ඇති කිරීමට හේතු වුනා. මෙහි දී පවන් නොදැවී ලකුණු 11ක් ලබා ගන්නා අතරේ, රමේෂ් පන්දු 11ක් තුළ නොදැවුණු ලකුණු 30ක් ලබා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් අසිත ප්‍රනාන්දු විසින් යොමු කළ ඉනිමේ අවසන් පන්දුවේ දී තරගය ජයග්‍රහණය කිරීමට නම් Kandy පිතිකරුවන්ට ලකුණු 4ක් ලබා ගැනීමට අවශ්‍ය ව තිබූ නමුත්, රමේෂ් මෙන්ඩිස් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 2ක් පමණයි.

මේ අනුව Jaffna Kings කණ්ඩායමට තරගයෙන් ලකුණු 1ක තියුණු ජයක් උරුම වුනා.

මෙහි දී Jaffna වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Fabian Allen ලකුණු 24කට කඩුලු 4ක් දවා ගන්නා අතරේ, කලකට පසු පන්දුවෙන් සාර්ථක වූ විජයකාන්ත් වියස්කාන්ත් කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

තරගයේ වීරයා – කුසල් මෙන්ඩිස්

මේ අනුව හෙට (21) පැවැත්වීමට නියමිත 2024 LPL අවසන් මහා තරගයේ දී Galle Marvels කණ්ඩායමේ ප්‍රතිවාදීන් ලෙස Jaffna Kings මුණ ගැසීමට නියමිතයි.

එමෙන්ම LPL ඉතිහාසයේ අවසන් තරගයක දී Jaffna Kings සහ Galle Marvels මුණ ගැසීමට නියමිත තෙවන අවස්ථාව මෙය වන අතර, මීට පෙර අවස්ථා ද්විත්වයේ දීම ජයග්‍රාහකයා බවට පත් වීමට Jaffna කණ්ඩායම සමත් වුනා.

Upcoming


Jaffna Kings

Kandy Falcons



හෙට දිනයේ දී එම ඉතිහාසය වෙනස් කිරීමට Galle Marvels කණ්ඩායමට හැකි වේ ද යන්න ThePapare හරහා ඔබට දැක බලා ගත හැකි වනු ඇති.

2024 LPL තරගාවලියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<