Lanka T10 තරගාවලියට ක්‍රීඩකයින් තෝරා ගැනීමේ සැලැස්ම තහවුරුයි

Lanka T10 Super League 2024

75
Lanka T10 Super League 2024

මංගල Lanka 10 Super League තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත්කරණය එළඹෙන නොවැම්බර් මස 10 වැනි දා කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

දෙසැම්බර් මස 12 සිට 22 දක්වා පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 06ක් තරග වැදීමට නියමිත අතර, එක් කණ්ඩායමකට අවමය ක්‍රීඩකයින් 15ක සිට උපරිම ක්‍රීඩකයින් 17ක් දක්වා වූ සංචිතයක් පවත්වා ගත හැකි.

මේ සඳහා ක්‍රීඩකයින්ට ලියාපදිංචි වීමට ඇති අවස්ථාව නොවැම්බර් මස 01දායින් අවසන් වන අතර, ඉන් පසුව නොවැම්බර් 05 වැනි දා දක්වා ක්‍රීඩකයින් සෘජු ලෙස කණ්ඩායම් සමඟ එක් කර ගැනීමට (Direct Signing) අවස්ථාව හිමි වනවා. මෙහි දී එක් කණ්ඩයමක් Direct Signing අවස්ථාව යටතේ ක්‍රීඩකයින් හය දෙනෙකු (Icon Player, Platinum Player, A සහ B කාණ්ඩවල ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු බැගින්) ගිවිසුම්ගත කර ගත යුතුයි.

ක්‍රීඩක කෙටුම්පත්කරණය වට 11කින් සමන්විත වන අතර, මෙහි පළමු අදියර අහඹු දිනුම් ඇදීමකින් සහ ඉතිරි අදියර සසම්භාවී ක්‍රමයක් (සෑම කණ්ඩායමකට ම සාධාරණ වන අයුරින්) භාවිතයෙන් ක්‍රියාත්මක වනු ඇති.

පළමු වට දෙකේ දී A කාණ්ඩයේ ශ්‍රී ලංකා සහ විදෙස් ක්‍රීඩකයින් (වටිනාකම US$35,000) තෝරා ගැනීමට හැකියාව ලැබෙන අතර, තෙවැනි සහ සිව්වැනි වටවල දී B කාණ්ඩයේ දේශීය සහ විදේශීය (වටිනාකම US$ 20,000) ක්‍රීඩකයින් තෝරා ගැනීමට හැකියාව ලැබෙනු ඇති.

වට 5 -7 දක්වා C කාණ්ඩය යටතේ දේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ එක් විදෙස් ක්‍රීඩකයකු (වටිනාකම US$ 10,000) තෝරා ගැනීමට හැකියාව ලැබෙන අතර, 08 වැනි වටයේ දී නැගීඑන ශ්‍රී ලංකා ක්‍රීඩකයකු (වටිනාකම US$ 2,500) තෝරා ගත හැකි. එමෙන්ම 09 වැනි වටයේ දී සිම්බාබ්වේ හෝ බටහිර ඉන්දීය කොදෙව් දේශයේ නැගීඑන ක්‍රීඩකයකු (වටිනාකම US$ 2,500) තෝරා ගැනීමට සිදු වනු ඇති.

මෙම ක්‍රීඩක කෙටුම්පත්කරණය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<