ලොව පුරා විසිරී සිටින හිටපු ක්‍රිකට් පුරාවෘත්ත නැවත ක්‍රීඩා පිටියට රැගෙන එන Road Safety World Series විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර එංගලන්තයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති මෙවර තරගාවලියට මෙතෙක් පැවැත්වුණු තරගාවලි දෙකේ දී සම්බන්ධ නොවුණු පාකිස්තාන කණ්ඩායම ද සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මෙතෙක් පැවැත්වුණු තරගාවලි දෙක ම ඉන්දියාවේ සත්කාරකත්වයෙන් යුතුව පැවැත්වුණු අතර, ඉන්දු – පාකිස්තාන දේශපාලන අර්බුද නිසා එම අවස්ථා දෙකට ම පාකිස්තාන කණ්ඩායම සහභාගී නොවූ බව විශ්වාස කළ හැකි.
නමුත් මෙවර තරගාවලිය එංගලන්තයේ දී පැවැත්වීමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බැවින් මෙවර පාකිස්තාන කණ්ඩායමක් තරගාවලිය සමඟ සම්බන්ධ වනු ඇති බවයි ESPN cricinfo වෙබ් අඩවිය මගින් හෙළිදරව් කරන්නේ.
ඒ අනුව මෙම වසරේ සැප්තැම්බර් මාසය මුල් සති කිහිපය තුළ පැවැත්වීමට නියමිත මෙම තරගාවලියට රටවල් නවයක් නියෝජනය කරමින් කණ්ඩායම් ඉදිරිපත් වීමට නියමිතයි.
ඒ වෙනුවෙන් මීට පෙර පැවැත්වුණු තරගාවලියේ දෙකේ ම අනුශූරතාව දිනා ගත් ශ්‍රී ලංකාව මෙන්ම අවස්ථා දෙකේ දී ම ශූරතාව දිනා ගත් ඉන්දියාවෙන් ද කණ්ඩායම් සහභාගී වනු ඇති.
- හිටපු පාකිස්තාන නායකයා නැවතත් අත්අඩංගුවට!
- ඇඬුවේ නැහැ, Pandyaට ඇඬුණා!
- පළමු IPL කිරුළ වෙත යෑමට RCB නව පුහුණුකරුවෙක් යටතට
- “Babar තමයි අංක එකේ පිතිකරුවා” – චමින්ද වාස්
- Misbah-ul-Haqට විශේෂ වගකීමක්
මෙහි පළමු තරගාවලිය 2020 වසරේ ආරම්භ වූ නමුත් කොරෝනා වසංගතය නිසා එහි අවසන් කොටස 2021 වසර තෙක් කල් ගියා. එමෙන්ම මෙහි දෙවැනි තරගාවලිය පසු ගිය වසරේ දී පැවැත්වුනා.
2020/21 පළමු තරගාවලියේ ඉහළ ම ලකුණු ලාභියා (ලකුණු 271) සහ කඩුලු ලාභියා (කඩුලු 12) බවට පත්වීමට සමත් වූ තිලකරත්න ඩිල්ශාන් එවර තරගාවලියේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබීමට සමත් වුනා.
එමෙන්ම 2022 තරගාවලියේ දී ද ශ්‍රී ලංකා Legends කණ්ඩායම නියෝජනය කළ තිලකරත්න ඩිල්ශාන් විසින් ම තරගාවලියේ වීරයා සම්මානය නැවතත් හිමි කර ගැනීමට සමත් වුනා.
මේ අතර එවර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වීමට නුවන් කුලසේකරට (කඩුලු 11) හැකියාව ලැබුණා.
මීට අමතරව මෙතෙක් තරගාවලි ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා ලෙස සිය නම සටහන් කර ගැනීමට ද ඩිල්ශාන් විසින් සමත් වී ඇත්තේ ලකුණු 463ක් සමඟිනුයි.
මේ අතර මෙතෙක් තරගාවලි ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා ලෙස නුවන් කුලසේකරගේ නම සටහන් වී ඇති අතර, ඔහු කඩුලු 20ක් දවා ගැනීමට සමත් වී සිටිනවා.
මෙවර තරගාවලියේ දී ද ශ්‍රී ලංකා Legends කණ්ඩායම නියෝජනය කරමින් කුලසේකර ඩිල්ශාන් යුගලය මෙන්ම තවත් හිටපු ක්‍රිකට් විශිෂ්ටයින් රැසක් දැක බලා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව විශ්වාස කළ හැකි.
Road Safety World Series තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
ESPN cricinfo ඇසුරිනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<