මංගල 19න් පහළ කාන්තා ලෝක කුසලානයත් කල් යන ලකුණු

228
Sri Lanka U19 Women's Cricket

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් පළමු වරට සංවිධානය කිරීමට සැලසුම් කර තිබූ වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙවර බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් එය දින නියමයක් නොමැතිව කල් යාමට වැඩි ඉඩක් තිබෙන බව වාර්තා වේ. ඒ ව්‍යාප්ත වෙමින් යන කොරෝනා වයිරස තත්වය නිසයි.

තරගාවලිය ලබන වසර ආරම්භයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබූ නමුත් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත තරගාවලිය පැවැත්වීම සඳහා ඔවුන්ට හැකි ද” නොහැකි ද යන්න සම්බන්ධයෙන් තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති අතර බංග්ලාදේශ ක්‍රිකට් පරිපාලනය විසින් නොවැම්බර් මාසයේ දී නිසැක වශයෙන්ම  ICCය වෙත එය දැනුම් දිය යුතුය.

මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරගාවලි රැසක් සහ ICC විසින් සංවිධානය කිරීමට නියමිතව තිබූ තරගාවලි රැසක්ම කොරෝනා වසංගත තත්වය නිසා පැවැත්වීමට නොහැකි වූ අතර තරගාවලි කිහිපයක් දින නියමයක් නොමැතිව කල් යද්දී, තවත් තරගාවලි කිහිපයක් පැවැත්වීම දැඩි අවිනිශ්චිත මට්ටමකට පැමිණ ඇත.

2020 වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ පිරිමි පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සහ 2021 වසරේ නවසීලන්තයේ දී පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලිය ඒ අතරින් ප්‍රධාන වේ. 

කෙසේ නමුත් ICC විසින් වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මංගල තරගාවලිය කල් දැමීම හෝ නොපැවැත්වීම සම්බන්ධයෙන් තවමත් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

තවත් ක්‍රිකට් පුවත්

ICC හි මීළඟ විධායක නිලධාරීන්ගේ හමුව මේ වසරේ නොවැම්බර් මාසයේ දී අන්තර්ජාල වීඩියෝ දුරකථන තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිත අතර එහි දී මේ තරගාවලිය ඇතුළුව ඉදිරි ජාත්‍යන්තර ක්‍රිකට් තරග, තරගාවලි සහ කොරෝනා වයිරසය ව්‍යාප්ත නොවන ලෙස තරගාවලි පැවැත්වීම යන කරුණු කාරනා කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.

“ICC සහ බංග්ලාදේශ ක්‍රිකට් පරිපාලනය 19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙහෙයුම් කටයුතු සහ එම කටයුතු සැලසුම් කරන ආකාරය තවමත් කතාබහ කරමින් සිටිනවා. මොකද වෙනදා අපි තරගාවලියක් සංවිධානය කරා වගේ දැන් තරගාවලි සංවිධානය කරන්න බැහැ. විශේෂයෙන් මේ වගේ ලොකු තරගාවලියක්, මොකද මේ වගේ තරගාවලියකට රටවල් ගොඩකින් කණ්ඩායම් සහභාගී වෙනවා” යැයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය අංශයේ ප්‍රධානී ජලාල් යූනිස් පැවසීය

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<