2020 ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාව කල් යයි

139

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් චීනයේ දී පැවැත්වීමට නියමිතව තිබූ 2020 ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාව 2023 දක්වා කල් දැමීමට තීරණය කළ බව ලෝක මලල ක්‍රීඩා සංගමය ඊයේ (10) නිවේදනය කරන ලදි.

තරගාවලිය මෙම වසරේ මාර්තු මාසයේ දී පැවැත්වීමට තිබූ නමුත් චීනයේ වූහාන් නගරය කේන්ද්‍ර කරගනිමින් ලොව පුරා ව්‍යාප්ත වූ මෙම කොරෝනා වයිරසය නිසාවෙන් තරගාවලිය ලබන වසරේ මාර්තු මස තෙක් කල් දැමීමට සංවිධායකයින් මීට පෙර තීරණය කර තිබුණි.

එනමුත් මෙම වයිරසය මැඩලීම සඳහා තවමත් ස්ථීර ප්‍රතිකාර ක්‍රමයක් නොමැති වීම නිසාවෙන් තරගාවලිය තවත් වසර 2කින් එනම් 2023 දක්වා කල් දමමින් 2022 වසරේ Belgrade පැවැත්වීමට නියමිතව ඇති මීළඟ ගෘහස්ථ ලෝක ශූරතාවයෙන් පසුව පැවැත්වීමට තීරණය කර ඇත.

තවත් මලල ක්‍රීඩා පුවත්:

මෙම තීරණය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ලෝක මලල ක්‍රීඩා සංගමය ප්‍රකාශ කර සිටියේ 2020 ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාව මීළඟ තරගාවලියෙන් (2022 තරගාවලිය) පසුව පැවැත්වීමට සංවිධායකයින් එකඟ වූ බවයි.

“පසුගිය සති කිහිපයේ දී අප මේ පිළිබඳව තරගාවලියේ සංවිධායක කමිටුව සහ චීන මලල ක්‍රීඩා බලධාරීන් සමඟින් දිගින් දිගටම සාකච්ඡා කළා, කොරෝනා වසංගතයේ වර්තමාන තත්වයත් සමඟ 2021 මුල් භාගයේ මෙම වසංගතයේ හැසිරීම පිළිබඳව අපට නිගමනයකට එන්න බැහැ 

අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, නිලධාරීන් ඇතුළු සියල්ලගේම ආරක්ෂාව පිළිබඳව අප සැලකිලිමත් වෙන්න ඕන, මෙම වසංගත තත්වය යටතේ අපට විශාල පිරිසක් එක් ස්ථානයකට ගෙන එන්න අපහසුයි. ඒ වගේම අපි තරගාවලියට සත්කාරකත්වය සපයන රටෙහි සෞඛ්‍ය රෙගුලාසි වල ගරු කරන්න ඕන.

ඒ වගේම අපි කැමතියි මෙම තරගාවලියේ සත්කාරකත්වය වෙනස් නොකර ඔවුන්ටම ලබා දී ඔවුන්ගේ සැලසුම් අනුව වැඩ කරන්න, තරගාවලිය 2022 Belgrade ගෘහස්ථ ලෝක ශූරතාවයෙන් වසරකට පසු පැවැත්වෙනු ඇත” යැයි ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුණි.

කොරෝනා වසංගතය නිසාවෙන් මෙම වසරේ පැවැත්වීමට තිබූ ප්‍රධාන පෙළේ තරගාවලි රැසක් කල් දැමීමට හෝ අවලංගු කිරීමට සිදු වූ අතර ලොව විශාලතම ක්‍රීඩා සැණකෙළිය ලෙස සැලකෙන ගිම්හාන ඔලිම්පික් උළෙල ද වසරකින් කල් දැමීමට සිදු විය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<