කිරියෙන් ඇරඹී පැණියෙන් නැවතුණ 2020

644

කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ නව වසරක් වේවා!”

දශක ගණනාවක් පුරාවටම නව වසරක් උදා වන විට ශ්‍රී ලාංකිකයන්ගේ මුවගින් පිටවූ සුලබතම වදන් පෙළ වූයේ එයයි. නමුත් 2021 වසර උදාවත් සමඟින් මේ වදන් පෙළ සවනත වැකෙන විට අපට දැනෙන්නේ පෙර වසරවල දැනුණ ලෙංගතු හැඟීම නොවේ. සුවහසක් සිත් සතන් ප්‍රමෝදයෙන් එළිය කළ මේ වදන් පෙළ, ඇසෙන විටත් ඇඟ හිරිවැටෙන තරමේ වචන පේළියක් බවට පත්වීමට ගියේ මාස 12ක් පමණි. ඒ සුබ පතමින් ආරම්භ කළ 2020 වසර අමතක කර දැමිය යුතු වසරක් වූ නිසාය.

නව බලාපොරොත්තු රැසක් දල්වා ගෙන 2020 වසර වෙත පා නැගූ අපට එම වසර ආරම්භයේ පටන්ම කොරෝනාවෙන් බැට කන්නට සිදු විය. ඒ හේතුවෙන් ආර්ථික හා සමාජීය යන අංශ දෙකෙන්ම දරුණු පසුබෑම්වලට ලක්වන්නට සිදු වූ අතර ක්‍රිකට් ලෝකයටත් කොරෝනාව නිසා එල්ල වූ බලපෑම සුළුපටු නොවේ.

2020 වසරේ ආරම්භක කාර්තුව තුළ ඉන්දීය, සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් ත්‍රිත්වය සමඟින් තරගාවලි තුනක් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව හිමිවූවත්, මාර්තු මාසයේ අග භාගයේ ආරම්භ කරන්නට නියමිතව තිබූ එංගලන්ත තරගාවලියට කොරෝනාවෙන් බාධා එල්ල වීම නිසා බලාපොරොත්තු වූ පරිදි එම තරගාවලිය පැවැත්වීමට ඉඩ සැලසුණේ නැත.

එහි දී එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර මාර්තු 19 සිට 23 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහ මාර්තු 27 සිට 31 දක්වා කොළඹ එස්. එස්. සී. පිටියේ පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් තරග දෙක දින නියමයක් නොමැතිව කල් දමන ලදි.

තරගාවලියේ පුහුණු තරග දෙකම බාධාවකින් තොරව පැවැත්වීමට අවස්ථාව ලැබී තිබුනත් එම පුහුණු තරග දෙක අවසාන වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගීන් තිදෙනෙකු හමුවීමත්, ගෝලීය වශයෙන් COVID – 19 වසංගතය නරක අතට හැරීමත් නිසා පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් තරගාවලිය කල් දැමීමට තීරණය කර ඇති බව මාර්තු මස 13 වැනිදා රටවල් දෙකෙහිම ක්‍රිකට් ආයතන විසින් ප්‍රකාශයට පත් කෙරිනි. එහි දී ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳව සලකා බලා මෙම තීරණයට එළඹුණ බව දෙපාර්ශවය විසින්ම සඳහන් කරන ලදි.

ඉන් සතියක කාලයකට පසුව මාර්තු 22 වැනිදා තම Twitter ගිණුමේ සටහනක් තැබූ කුමාර් සංගක්කාර ද, විදේශගතව සිට පැමිණි තමා ස්වයං නිරෝධානයට යටත් වී දින 14ක කාලයක් ගත කරන බව ප්‍රකාශ කළ අතර ඇතිවෙමින් පැවති අවදානම් සහගත තත්ත්වය හේතුවෙන් ලොව පුරා පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරගාවලි එකින් එක අවලංගු වී ගියේය.

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි නමුත් කොරෝනා අවදානම නිසා එම සංචාරය ද දින නියමයක් නොමැතිව කල් දැමීමට දෙරටේම පාලක මණ්ඩල එකඟ වී තිබුණි. ඊට සමගාමීව පැවැත්වේ යැයි අපේක්ෂා කළ පිරිමි තරගාවලිය ද නොපැවෙත්වෙනු ඇතැයි පසුව නිවේදනය විය.

මේ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ද සුපුරුදු පරිදි පුහුණුවීම් වල නිරත වීමට අවස්ථාවක් නොලැබුන අතර පැවති අවදානම් තත්ත්වය පහව නොගිය හෙයින් අප්‍රේල් මස 05 වැනිදා එක් එක් ක්‍රීඩකයන්ට වෙන් වෙන් වශයෙන් ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගෙන යෑම සඳහා යෝග්‍යතා සැලසුම් (Fitness Plans) ලබා දීමට ක්‍රිකට් ආයතනය පියවර ගන්නා ලදි.

ඉන් අනතුරුව මැයි මස පළමු වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරීවරයා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්, කල්දමන ලද එංගලන්ත තරගාවලිය 2021 වසරේ ජනවාරි මාසයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කරන බවට ප්‍රකාශ කරන ලදි. පසුව මාර්තු මස 20 වැනිදා ඉදිරිපත් වූ මාධ්‍ය නිවේදනයක සඳහන් වූයේ ජුනි මස පළමු වැනිදා පටන් ශ්‍රී ලංකා කණ්ඩායම යළිත් පුහුණුවීම් වල නිරත වනු ඇති බවයි.

එම නිවේදනයේ සඳහන් පරිද්දෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුවීම් කටයුතුවල නිරත වුවද, ජුනි මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා තම කණ්ඩායම සහභාගී නොවන බවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ජුනි 11 වැනිදා නිවේදනය කිරීම නිසා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු යළිත් වරක් බිඳී ගියේය.

නමුත් ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්විය හැකි වේ යැයි අනාවැකි පලවීමත් සමඟ යළිත් බලාපොරොත්තු සහගත බවක් ප්‍රේක්ෂකයන් අතර ඇතිවී තිබුණ ද, පසුව එම තරගාවලියත් 2021 වසර දක්වා කල් ගියේය.

2020 වසරේ අප්‍රේල් මාසයේ ආරම්භ වීමට නියමිතව තිබිය දී කොරෝනා වසංගතය නිසා වරින් වර කල් දැමීමට සිදු වූ පන්දුවාර 20 ලෝක කුසලානය ද 2021 වසරේ ඔක්තෝබර් මස දක්වා කල් දැමීමට සිදු වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් නිවේදනය කළේ ජුනි මාසයේ දී ය.

ඉන් අනතුරුව තමන් පෙර සැලසුම් කළ පරිදි ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය අගෝස්තු මාසයේ දී පවත්වන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජුලි මස 2 වැනිදා නිවේදනය කරන ලදි.

වරින් වර ඇතිවූ අනපේක්ෂිත බාධා නිසා බලාපොරොත්තු වූ පරිදි අගෝස්තු මාසයේ තරගාවලිය පැවැත්වීමට නොහැකි වුවත් කණ්ඩායම් 5කගේ සහභාගීත්වයෙන් නොවැම්බර් මස 26 වැනි දින පළමු ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය ආරම්භ කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකියාව ලැබුණි.

එහි දී පළමු වටයේ තරග 20කින්, අවසන් පූර්ව තරග 2කින් සහ අවසාන මහා තරගයෙන් පසුව පළමු ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් Jaffna Stallions කණ්ඩායම සමත් විය.

එම තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා දකුණු අප්‍රිකාව බලා පිටත් විය.

මාර්තු 6 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟින් පැවති 20/20 තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර තරගයක් සඳහා නැවත සහභාගී වූයේ පසුගිය දෙසැම්බර් 26 වැනිදා දකුණු අප්‍රිකාව සමඟිනි. ඒ මාස 9කුත් දින 20ක කාල සීමාවකින් පසුවය.

කොරෝනාවේ ආගමනය හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඇතිවූ වෙනස්කම් රාශියකි. අද වන විට බොහෝ ක්‍රිකට් තරග පැවැත්වෙන්නේ ක්‍රීඩාංගණ තුළ තරඟ නරඹන ප්‍රේක්ෂකයන් රහිතවය. කොරෝනාව හේතුවෙන් පිටිය තුළ මෙන්ම පිටියෙන් පිටත ද වෙනස්කම් රාශියක් ඇතිවී තිබේ.

නව කොරෝනා වසංගතය නිසා ක්‍රීඩකයන්ගේ හා ක්‍රීඩාවට දායක වන අනෙකුත් පාර්ශවයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවට නව මාර්ගෝපදේශයන් හා නීතිරීති කිහිපයක් එක් කරන්නට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කරන ලදි.

ඒවායින් ප්‍රධාන කරුණු කිහිපයක් ඔබේ දැනුවත් වීම උදෙසා පහතින් පෙළගස්වා ඇත.

  • ටෙස්ට් තරගයක් අතරතුර දී COVID19 රෝග ලක්ෂණ පෙන්වන ක්‍රීඩකයෙකු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීමට කණ්ඩායම්වලට අවසර ලැබේ.
  • සංචරණය සඳහා පවතින බාධා නිසා තරග විනිශ්චය කිරීමට ක්‍රීඩා කරන රටවල් දෙකටම අයත් නොවන මධ්‍යස්ථ විනිසුරුවන් පත් කිරීමේ අවශ්‍යතාවය තාවකාලිකව ඉවත් කරනු ලැබේ.
  • දේශීය විනිසුරුවන් යොදා ගැනෙන නිසා සිදු විය හැකි අවාසි මගහැරවීමට තරගයක එක් එක් ඉනිමේ දී එක් එක් කණ්ඩායම සඳහා අතිරේක අසාර්ථක DRS අවස්ථාවක් හිමි වේ. මේ අනුව ටෙස්ට් තරගයක එක් ඉනිමක දී එක් කණ්ඩායමකට අසාර්ථක Review අවස්ථා 3ක් හා එක්දින තරගයක දී අසාර්ථක Review අවස්ථා 2ක් බැගින් හිමි වේ.
  • තරගාවලියට සහභාගී වන කණ්ඩායම් සෑම විටම ජෛව ආරක්ෂිත බුබුලක් තුළ නවාතැන් ගත යුතුය. ඉන් පිටතට සහ නැවත බුබුල තුළට ගමන් කරන සෑම අවස්ථාවකම සනීපාරක්ෂාව තහවුරු කළ වාහනයක පමණක් ගමන් කළ යුතුය. (ජෛව ආරක්ෂිත බුබුලක් යනු COVID-19 ආසාදන අවදානම අවම කිරීම සඳහා නිර්මාණය කරන ලද බාහිර ලෝකයෙන් හුදකලා වූ ආරක්ෂිත හා ආරක්ෂිත පරිසරයකි. එය බොහෝ විට කණ්ඩායම නවාතැන් ගෙන සිටින හෝටලය විය හැක. කොරෝනා වෛරසය ආසාදනය නොවී ඇති බවට පරීක්ෂණ මඟින් තහවුරු කරගැනීමෙන් පසුව ක්‍රීඩාවට සම්බන්ධ පුද්ගලයින්ට, සහායක කාර්ය මණ්ඩලයට සහ තරග නිලධාරීන්ට පමණක් එම ආරක්ෂිත ප්‍රදේශයට ඇතුළු වීමට අවසර හිමි වේ)
  • ක්‍රීඩකයන් සහ සහායක කාර්ය මණ්ඩල සාමාජිකයන් විසින් පුද්ගලික ආරක්ෂක උපකරණ (Personal Protective Equipment) භාවිතා කළ යුතුය.
  • පන්දුව ස්පර්ශ කිරීමෙන් පසු සනීපාරක්ෂක අත් සේදීම කළ යුතුය.
  • පන්දුව ස්පර්ශ කිරීමෙන් පසු ඇස්, නාසය සහ මුඛය ස්පර්ශ නොකළ යුතුය.
  • පන්දුව ඔපදැමීම සඳහා ඛේටය භාවිතා නොකළ යුතුය.
  • විනිසුරුවන් පන්දුව ස්පර්ශ කිරීමේ දී අත්වැසුම් පැලඳීම ගැන සලකා බැලිය යුතුය.
  • පිටිය තුළ දී සෑම විටම සමාජ දුරස්ථභාවය පවත්වා ගත යුතුය. තවද කැප්, තුවා, අව් කණ්ණාඩි ආදී පුද්ගලික අයිතමයන් විනිසුරුවන්ට හෝ කණ්ඩායම් අනෙකුත් සාමාජිකයින්ට ලබා දීම සම්පූර්ණයෙන් තහනම්ය. සෑම ක්‍රීඩකයෙකුටම ඔහුට පමණක් සීමා වූ පුද්ගලික අයිතම කට්ටලයක් තිබිය යුතුය.
  • පිටියෙන් පිටත දී සෑම විටකම සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම කළ යුතුය.
  • ක්‍රීඩාව තුළ හා ඉන් පිටත දී ක්‍රීඩකයන්ට අවශ්‍ය කරන උපකරණ පොදුවේ භාවිතා කිරීම හැකිතාක් සීමා කළ යුතුය. එසේ කිරීම අත්‍යවශ්‍ය නම් පමණක් එම උපකරණ නිසි පරිදි පිරිසිදු කර ඇති බවට සහතික කළ යුතුය.
  • නරඹන්නන්ට තරග නැරඹීමට අවසර තිබේ නම්, සෑම විටෙකම සමාජ දුරස්ථභාවය පවත්වා ගත යුතුය.

උදා වුන නව වසර ගැන ඔබේ අදහස් මොන වගේ ද? පහළින් Comment කරන්න.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<