ඉසිපතනයේ අපරාජිත කිරුළ ගැලවේ

2068
2018 Schools Rugby A

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තවත් තරගයක් අද (7) කොළඹ ඉසිපතන විද්‍යාලය හා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර කොළඹ හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේ දී පැවති අතර තියුණු තරගයකට පසු ලකුණු 14-20ක් ලෙස තරගය ජය ගැනීමට බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සමත් විය.

ජෝසප්වරුන්ගේ තියුණු ආක්‍රමණය රාජකීයයෝ සාර්ථකව මැඩලයි

2017 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරයින් වූ කොළඹ රාජකීය විද්‍යාලය හා 2017 ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ ……

ඉසිපතන විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය යන කණ්ඩයම් දෙකම ලීග් ලකුණු සටහනේ මෙතෙක් අපරාජිතව සිටින කණ්ඩයම් දෙකක් වූ නිසාවෙන් තරගය ඉතා තරගකාරී මුහුණුවරක් ගත්තේය.

සාන්ත පීතර ක්‍රීඩකයින්ගේ පා පහරින් තරගය ආරම්භ වූ අතර පළමු මිනිත්තුවේ සිටම වේගවත් ඉසිපතන පසුපෙළ සාන්ත පීතර අර්ධය ආක්‍රමණය කළ අතර තරගයේ 3 වැනි මිනිත්තුවේ ලද දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ඉසිපතන ලකුණු පුවරුව ක්‍රියාත්මක කරවන්නට නායක මනිල්ක රුබේරු සමත් විය. (ඉසිපතන 03-00 පීතර)

තරගයේ 8 වන මිනිත්තුවේ දී උත්සාහක දිනුම් සීමාව පෙනෙන මානයේ සාන්ත පීතර ක්‍රීඩක ජේසන් කරුණාරත්න සිදු කළ පන්දු යොමු කිරීමක් සාර්ථක ලෙස ග්‍රහණය කර ගැනීමට සාන්ත පීතර ක්‍රීඩකයින් සමත් නොවූවද, 9 වන මිනිත්තුවේ ලද ‘Line Out’ අවස්ථාවක් සාර්ථක කර ගනිමින් උත්සාහක දිනුමක් කරා සාර්ථක ආක්‍රමණයක් දියත් කරන්නට සාන්ත පීතර ඉදිරිපෙළ සමත් විය. අනවශ්‍ය බාධා කිරීමක් සිදු කළ නිසා ඉසිපතනයේ අංජන කුලසේකර හට කහ කාඩ්පතක් ලබා දීමට විනිසුරු ක්‍රියා කළ අතර ලැබුණු දඬුවම් පහර පහසුවෙන් සාර්ථක කර ගැනීමට ෂෙහාන් ලියනපතිරණ සමත් විය. (ඉසිපතන 03-03 පීතර)

11 වන මිනිත්තුවේ ඉසිපතන විද්‍යාලයට දඬුවම් පහරක් හිමි වූ අතර මීටර 45 සීමාව ආසන්නයේ සිට අලංකාර පා පහරකින් තවත් ලකුණු තුනක් ලකුණු පුවරුවට එක්කරන්නට ඉසිපතන නායක මනිල්ක රුබේරු සමත් විය. (ඉසිපතන 06-03 පීතර)

තරගයේ තරගකාරී බව නිසාම ක්‍රීඩකයින් සිදු කළ අතපසු වීම් නිසා තරගය වරින් වර නතර කිරීමට විනිසුරු හට සිදු වූ අතර 12 වන මිනිත්තුවේ දී ගුවනේ සිටි ඉසිපතන ක්‍රීඩකයෙකුට බාධා කිරීම නිසා සාන්ත පීතර ක්‍රීඩක ජවිඳු ප්‍රනාන්දු හට කහ කාඩ්පතක් හිමි වූ අතර ලද දඬුවම් පහර සාර්ථක කර ගැනීමට ඉසිපතන නායක මනිල්ක රුබේරු හට නොහැකි විය.

15 වන මිනිත්තුවේ දී සිය වේගවත් පසුපෙළ භාවිතා කළ සාන්ත පීතර ක්‍රීඩකයෝ ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ අතර වේගවත් ධාවනයක් නිරත වූ ඩේස්ටර් පිටියෙන් ඉවතට තල්ලු කර දමමින් එම උත්සාහය ව්‍යර්ථ කිරීමට ඉසිපතන ක්‍රීඩකයෝ සමත් වූහ.

17 වන මිනිත්තුවේ දී සාන්ත පීතර ක්‍රීඩකයෝ සිය ඉදිරිපෙළ ක්‍රීඩකයින් යොදා ගනිමින් ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ අතර ඉසිපතනයේ ප්‍රබල උත්සාහය අපතේ යවමින් සාන්ත පීතර විද්‍යාලයේ ජූලියන් චාල්ස් සාන්ත පීතරයන් වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. ෂෙහාන් ලියනපතිරණ හට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට නම් හැකි වූයේ නැත. (ඉසිපතන 06-08 පීතර)

තරගයේ 25 වන මිනිත්තුවේ දී ප්‍රේක්ෂකයින්ගෙන් තරගයට බාධා සිදුවීම නිසා මිනිත්තු 10කට පමණ තරගය නතර කිරීමට විනිසුරු ක්‍රියා කළ අතර නැවත තරගය ආරම්භ කිරීමත් සමගම හිමි වූ ‘Line Out’ අවස්ථාව සාර්ථක කර ගත් සාන්ත පීතර ක්‍රීඩකයෝ සිය දැවැන්ත ඉදිරිපෙළ යොදා ගනිමින් ‘Rolling Maul’ ආකාරයට පන්දුව ඉදිරියට ගෙන ගිය අතර ඉසිපතන ප්‍රතිරෝධය බිඳ දමමින් ජූලියන් චාල්ස්ගේ සුරතින් සාන්ත පීතර විද්‍යාලයේ දෙවන උත්සාහක දිනුම ද වාර්තා විය. ෂෙහාන් ලියනපතිරණ එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගන්නා ලදි. (ඉසිපතන 06-15 පීතර)

අනතුරුව ක්ෂණික වේගවත් ආක්‍රමණයක් දියත් කළ ඉසිපතන ක්‍රීඩකයෝ විශිෂ්ට ආක්‍රමණයක් දියත් කිරීමට සමත් වූ අතර සාන්ත පීතර ක්‍රීඩකයෝ ද මිනිත්තු 3ක් පුරා ක්‍රීඩා පිටියේ දෙපසින්ම දියත් වූ ආක්‍රමණ සියල්ල ව්‍යර්ථ කිරීමට සමත් විය. ඉසිපතන පසුපෙළ වේගවත් පන්දු යොමුවීම් සමඟින් ප්‍රබල උත්සාහයක නිරත වුවද, 35 වන මිනිත්තුවේ නායක මනිල්ක රුබේරු සාර්ථක කර ගත් දඬුවම් පහරකින් ඔවුන්ට සෑහීමට පත්වීමට සිදු විය. (ඉසිපතන 09-15 පීතර)

පළමු අර්ධය: ඉසිපතන විද්‍යාලය 09-15 සාන්ත පීතර විද්‍යාලය

දෙවන අර්ධයේ පළමු වෙඩි මුරය තබමින් 43 වන මිනිත්තුවේ දී ඉසිපතන ක්‍රීඩකයෝ වේගවත් පන්දු යොමු කිරීම් රැසක් සමඟින් ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ අතර විශිෂ්ට ධාවනයක් නිරත වූ අංජුන ක්‍රීඩා පිටිය මධ්‍යයේ සිටම සාන්ත පීතර ක්‍රීඩකයින් මුලා කරමින් දිවගොස් පන්දුව රමිත ද සිල්වා වෙත භාර දුන් අතර රමිත අලංකාර ලෙස එම උත්සාහක දිනුම සම්පූර්ණ කිරීමට සමත් විය. නායක මනිල්ක රුබේරු හට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට නොහැකි විය. (ඉසිපතන 14-15 පීතර)

කිරුළේ අයිතිය නැවතත් හිමිකර ගන්නට සැරසෙන ඉසිපතන හරිත හමුදාව

ශ්‍රී ලංකා පාසල් රග්බි ඉතිහාසයේ පෙරළිකාර පාසල් අතරින් ප්‍රමුඛ පෙළේ පාසලක් වන කොළඹ ඉසිපතන විද්‍යාලය මෙවර පැවැත්වෙන 55 වන පාසල් රග්බි ……

දෙවන අර්ධයේ ඉසිපතන ක්‍රීඩකයෝ සිය පසුපෙළ ක්‍රීඩකයින්ට ප්‍රමුඛත්වය දෙමින් පසුපෙළ ක්‍රීඩකයින් යොදා ගෙන ප්‍රබල ක්‍රීඩා විලාසයක් දියත් කළ අතර 53 වන මිනිත්තුවේ සිට කඩින් කඩ ඇදහැළුණු වර්ෂාව දෙපිලේම වේගවත් පසුපෙළ ක්‍රීඩකයින්ට බාධාවක් විය.

59 වන මිනිත්තුවේ දී සාන්ත පීතර ක්‍රීඩකයින් මගහරිමින් මනුල රත්නායක අලංකාර ධාවනයක නිරත වුවද, සාන්ත පීතර ක්‍රීඩකයෝ ඔහුගේ ආක්‍රමණය නැවැත්වීමට සමත් වීම නිසා ඉසිපතන ක්‍රීඩකයින්ට ලකුණු බවට පරිවර්තනය කර ගැනීමට හැකිව තිබූ අවස්ථාවක් ගිලිහි ගියේය.

ඉසිපතන ග්‍රහණයෙන් මිදී සාන්ත පීතර ක්‍රීඩකයෝ ඉසිපතන අර්ධයේ ආක්‍රමණයක් දියත් කළ අතර ඉසිපතන ක්‍රීඩකයින්ගෙන් මිදී ෂෙහාන් ලියනපතිරණ සුපිරි ධාවනයක නිරත වූ අතර ඉසිපතන ක්‍රීඩකයින්ට පෙර ඔහු ගුවනට මුසු කළ පන්දුව රැක ගත් සාන්ත පීතර විද්‍යාලයේ ජේසන් දිසානායක තරගයේ ජය තහවුරු කරමින් විශිෂ්ට උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ෂෙහාන් ලියනපතිරණ හට නොහැකිවුවත් ඉසිපතනයට නැවත වරක් සටන් කිරීමට තරම් කාලයක් ඉතිරිව නොතිබුණු නිසා තරගයේ ජය බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයට හිමි විය. (ඉසිපතන 14-20 පීතර)

අවසාන ලකුණු තත්වය: ඉසිපතන විද්‍යාලය 14 (1T,3P) -20 (3T,1C,1P)  සාන්ත පීතර විද්‍යාලය

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්

  • ඉසිපතන විද්‍යාලය: මනිල්ක රුබේරු (3P), රමිත් ද සිල්වා (1T)
  • සාන්ත පීතර විද්‍යාලය: ජූලියන් චාල්ස් (2T), ෂෙහාන් ලියනපතිරණ (1C,1P), ජේසන් කරුණාරත්න(1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<