ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය ශ්‍රී ලංකාවට උන්හිටිතැන් අහිමි වෙයි

180

රටවල් 16ක සහභාගිත්වය ඇතිව දින 10ක් පුරා ඕස්ට්‍රේලියාවේ පැවැති 14 වැනි ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය නිමා කරමින් ඊයේ (16දා) නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවැති අවසන් තරගයෙන් ලකුණු 58-55ක් ලෙස වාර්තා කොට පිට පිටම තෙවැනි වරටත් දැල්පන්දු ලෝක කුසලාන දිනා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය. ඒ අනුව ඕස්ට්‍රේලියාව දැල්පන්දු ලෝක කුසලාන දිනාගත් 11 වැනි අවස්ථාව ඉන් සටහන් තැබීය.

මෙම තරග ප්‍රතිඵලයත් සමඟ තරගාවලියේ ආරම්භයේ සිටම අපරාජිත බව රැකගත් නවසීලන්ත පිලට එම ගෞරවයද අහිමී වී ගියේය.
තරගාවලියේ තෙවැනි ස්ථානය තීරණය කිරීම පිණිස ජැමෙයිකාව හා එංගලන්තය අතර පැවැති තරගයෙන් එංගලන්තයට ලකුණු 66-44ක ජයක් අත්වී තිබිණි.
මේ අතර මෙම තරගාවලියට සහභාගි වූ කණ්ඩායම් 16 අතර එකම ජයග්‍රහණයක් හෝ නොලද එකම කණ්ඩායම බවට පත්වීමට ශ්‍රී ලංකාවට සිදුවිය. ඒ ඔවුන් සහභාගි වූ තරග අටෙන්ම පරාජයට පත්වීම නිසාය.

සිංගප්පූරුව සමඟ තරග කරමින් තරගාවලියට පිවිසි ශ්‍රී ලංකා පිල එම තරගය 56-43ක් ලෙස පරාජය වී තිබූ අතර ඊයේ සිය අවසන් තරගයේදී ශ්‍රී ලංකාව සිංගප්පූරුවට පරාජය වී තිබුණේ ලකුණු 59-32ක් ලෙසිනි.
ශ්‍රී ලංකාව සිංගප්පූරුව සමඟ සහභාගි වූ අවසන් තරගයේදී පළමු වට තුනම 16-08, 19-04ක් හා 13-09ක් ලෙස පරාජයට පත්ව තිබුණද අවසන් වටය 11-10ක් ලෙස ජය ගැනීමද විශේෂත්වයක් විය.
එය මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පිල ජයගත් එකම වටය ලෙස සටහන් විණි.

සංචාරයට සහභාගි වූ ශ්‍රී ලංකා පිලට නිරෝෂිණී පායිවා නම් කිරීමට තේරීම් කමිටුව ගත් තීරණය මේ තරගාවලියට ඇයගෙන් ලැබුණු දායකත්වය සලකන විට මතුකරන්නේ ගැටලුකාරි තත්ත්වයකි. ඒ ඇයගේ සේවය මෙම තරගාවලියේදී විනාඩි 5කටත් අඩු කාලයක් සඳහා සීමා වී තිබෙන බැවිණි.
එසේම තිසලා අල්ගම, චතුරංගි ජයසූරිය හා දර්ෂිකා අබේවික්‍රම යන අත්දැකීම් සහිත ක්‍රීඩිකාවන්ගෙන්ද ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූ සේවය හිමි නොවීමත් මාස 2ක් වැනි සුළු කාලයකදී ලද පුහුණුවද ලෝක කුසලාන තරගාවලියකට ප්‍රමාණවත් නොවීමත් මේ අන්ත පරාජයට මඟ සලසා දී තිබිණි.
මේ අනුව අවසන් වරට 2011 වසරේ පැවැති ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා පිල හිමිකරගෙන තිබූ 14 වැනි ස්ථානයද මෙවර ඔවුනට අහිමි වූහ.

තරගාවලියේදී ඒ ඒ කණ්ඩායම් හිමි කරගත් ස්ථාන
1. ඕස්ට්‍රේලියාව,

2. නවසීලන්තය,

3. එංගලන්තය,

4. ජැමෙයිකාව,

5. ද-අප්‍රිකාව,

6. මලාවි,

7. වේල්ස්,

8. උගන්ඩාව,

9. ටි්‍රනිඩැඩ් ටුබෑගෝ,

10. සැමොවා,

11. ෆීජි,

12. ස්කොට්ලන්තය,

13. බාබඩෝස්

14. සැම්බියා,

15. සිංගප්පූරුව,

16. ශ්‍රී ලංකාව.
මීළඟ ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය 2019 වසරේ එංගලන්තයේ ලිවර්පූල්හි පැවැත්වෙයි.