දවසේ එකම වාර්තාව විදූෂාගෙන් – ශ්‍රීමත් ජෝන් ටාබට් ජේ‍යෂ්ඨ පාසල් මලල ක්‍රීඩා තරගාවලිය

150

සී. බී. එල්. ආයතනයේ රිට්ස්බරි අනුග්‍රහය අඛණ්ඩව සිව් වැනි වරටත් ලබමින් ඊයේ (17දා) දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ 85 වැනි ශ්‍රී මත් ජෝන් ටාබට් ජේ‍යෂ්ඨ පාසල් මලල ක්‍රීඩා තරගාවලියේදී පළමු නව තරග වාර්තාව පිහිටුවීමේ ගෞරවය මීගමුව නිව්ස්ටඩ් බාලිකා විදුහලේ විදූෂා ලක්‍ෂානි විසින් දිනා ගත්තාය.

තරගයෙන් තරගයට වාර්තා පිහිටුවීම පුරුද්දක් කරගෙන ඇති විදූෂා ඊයේ අවුරුදු 20න් පහළ බාලිකා තුන් පිම්ම ඉසව්වට සහභාගි වෙමින් මීටර් 13.05ක දුරක් සටහන් කොට බිඳ හෙළනු ලැබුවේ පසුගිය වසරේ ඇය විසින්ම මීටර් 12.50ක් ලෙස පිහිටුවා තිබූ වාර්තාවය.

දවස පුරා ඇද හැළුණු වර්ෂාව තරග පැවැත්වීමේදී සංවිධායකයන්ට විශාල බාධාවක්ව පැවැති අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද තම තමන්ගේ උපරිම දස්කම් දැක්වීමට වැස්ස හරස් වී තිබිණි.

දිනයේ පළමු ඉසව්ව ලෙස පවත්වන ලද මීටර් 5,000 අවුරුදු 20න් පහළ බාලක තරගයේ පළමු හා දෙවැනි ස්ථාන දිනාගත් ක්‍රීඩකයන් දෙදෙනාම වර්ණ පරිසාධන මට්ටමට ළඟා වී තිබීම විශේෂත්වයකි.