අජ්මාල් නැති එක මානසිකව අපට ලොකු හයියක්

135

මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින පාකිස්තාන් ජාතික ක්‍රිකට් කණ්ඩායමට දකුණතින් පිටදඟ පන්දු යවන සයීඩ් අජ්මාල් ඇතුළත් නොවීම මානසික වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල සහනයක් ගෙන දෙන කරුණක් වනු ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මාවන් අතපත්තු පවසයි.

හෙට ගාල්ලෙන් ඇරැඹෙන දෙරට අතර තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලියට පෙර එසේ මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා ජාතික පුහුණුකරුවා තවදුරටත් පවසා ඇත්තේ පාකිස්තාන් කණ්ඩායමේ මෙවර තමන් දකින ලොකුම වෙනස අජ්මාල් කණ්ඩායමට ඇතුළත් නොකර ගැනීම බවත්, ඔවුන්ගේ ප්‍රබලම අවිය වූ ඔහුව නොමැති වීම තුළින් ඔවුන්ට අවාසනාවන්ත තත්ත්වයක් මතුවිය හැකි බවත්ය.

අජ්මාල් යනු බොහෝ පිතිකරුවන්ට නිදි නැති රැයක් උරුමකර දුන් පන්දු යවන්නකු බව පවසන ශ්‍රී ලංකා පුහුණුකරුවා අජ්මාල් ප්‍රතිවාදී කණ්ඩායමෙහි නොසිටීම අපිට මානසිකව අමතර වාසියක් වුවද තමන්ට ලැබෙන හොඳ පන්දුවට ගරු කරමින් දුර්වල පන්දුවට පහරදීමේ යහපත් මානසිකත්වය තම ක්‍රීඩකයන්ගෙන් බලාපොරොත්තු වන බවද පවසා ඇත.

වත්මන් පාකිස්තාන් කණ්ඩායම සතුව තරග දිනවීමට හැකි පන්දු යවන්නන් සිටිනු ඇතැයි තමන් විශ්වාසය පළකරන නමුත් තවමත් එසේ දක්‍ෂතා පෙන්වීමට ඔවුන්ට නොහැකි වී ඇති බවද අතපත්තුගේ මතයයි. දශකයකට එපිට කාලය තුළ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ගේ දක්‍ෂතා ඉහළ තලයක පැවැති බව පවසන අතපත්තු තම කණ්ඩායමේ වේග පන්දු යැවීමේ අංශය තවත් ශක්තිමත් කිරීමට උත්සාහ කරන බවත් මෙම සංචාරයේදී එහි ප්‍රතිඵල බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කර ඇත.
තවද පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ දක්‍ෂතාවන් උසස් මට්ටමක නොපැවතුණු බව පවසන ශ්‍රී ලංකා පුහුණුකරුවා ඒ හේතුව නිසාම ජොන්ටි රෝඩ්ස්ගේ සේවය ලබා ගනිමින් එම අංශය වැඩි දියුණු කරගත් බව පවසා ඇති අතර රෝඩ්ස් ලංකාවට ගෙන්වා ලබාගත් පුහුණුවෙන් පසුව ක්‍රීඩකයන්ට ලැබෙන සෑම උඩපන්දුවක්ම සාර්ථකව අල්ලා ගැනීමට හැකි යැයි ඉන් අර්ථවත් නොවන බවද සඳහන් කර ඇත.