එළැඹෙන 2016 වසරේදී බ්‍රසීලයේ රියෝ දි ජැනෙයිරෝ නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට මැරතන් ක්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ මේ වන විටත් සුදුසුකම් ලබා ඇති අතර ඔහු වැඩි දුර පුහුණුවීම් කටයුතු සඳහා මේ මස 25දා කෙන්යාව බලා පිටත්ව යන බව ‘මව්බිම’ට පැවැසීය.

එහෙත් 2012 වසරෙන් පසුව ශ්‍රී ලංකා රජය පැත්තෙන් හෝ කිසිදු අනුග්‍රහයක් කුරේ වෙත ලැබී නැති අතර ඔහු සමඟ එළැඹෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නිලූකා රාජසේකර නම් මැරතන් ක්‍රීඩිකාවද මේ වන විටත් සුදුසුකම් ලබා ඇත. පසුගිය ජනවාරි මස 25දා හොංකොංහිදී පැවැති ආසියානු මැරතන් තරගයේදී පැය 2 විනාඩි 40කින් තම ඉසව්ව නිම කළ නිලූකා ඔලිම්පික් පරිසාදන මට්ටම ඉක්මවා දස්කම් පෙන්වීමෙන් ලබන ඔලිම්පික් උළෙලට යෑමට සූදානම් වෙමින් සිටියද ඇයටද මෙරට ක්‍රීඩා බලධාරීන්ගෙන් සාධාරණය ඉටුවී ඇති දැයි සැකයක් මතුවේ.
මේ අතර ඔලිම්පික් වරම් ලබා ඇති ඉන්ද්‍රජිත් කුරේට හා නිලූකා රාජසේකරට ජාතික ඔලිම්පික් කමිටුව විසින් දෙනු ලබන දෙවැනි පෙළ දීමනාවක් වන රුපියල් හතළිස් දහසක මාසික මුදල ලැබුණද අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ අනුමැතිය සහිතව ජාතික ඔලිම්පික් කමිටුව හරහා ලැබෙන මාසික ඩොලර් දීමනාව ලැබෙන්නේ එළැඹෙන ඔලිම්පික් උළෙල පරිසාදන මට්ටම්වලට අහලකටවත් ගොස් නැති ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනකුටය. ජාතික ඔලිම්පික් කමිටුව හරහා දෙන විශේෂ දීමනා ලබන පස් දෙනාගෙන් දෙදෙනෙක් වන නිලූක කරුණාරත්න (බැඩ්මින්ටන්) හා චන්ද්‍රිකා සුභාෂිනී රස්නායක (මීටර් 400 කාන්තා) ඔවුන් මෑතකදී සහභාගි වූ තම තරග ඉසව්වලදී අන්ත පරාජයට ලක්වූහ. එහෙත් නිලුකට හා චන්ද්‍රිකාට ලබන වසරේ අගෝස්තු 31 දක්වා පිළිවෙළින් ඇමෙරිකානු ඩොලර් 1,500ක් හා 1000ක් බැගින් ගෙවනු ලබද්දී, දැනටමත් ඔලිම්පික් සඳහා සුදුසුකම් ලබා ඇති කුරේට හා රාජසේකරට මාසිකව දෙන රුපියල් 40,000 ද ලබා දෙන්නේද ලබන මාර්තු 31 දක්වා පමණි.මැරතන් ක්‍රීඩිකා නිලූකා රාජසේකරද මේ වන විට දියතලාවට ගොස් එහි නවාතැන් ගෙන පුහුණුවීම් කටයුතුවල යෙදෙන අතර කුරේ හා රාජසේකර මෙසේ පුහුණුවීම් කටයුතු කරන්නේ මේ වසරේ අගෝස්තු මාසයේදී චීනයේ පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය ඉලක්ක කරගෙනය.
කෙසේ වෙතත් මෙම දීමනා සම්බන්ධයෙන් විමසූ විට ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා කියා සිටියේ අයි. ඕ. සී. හරහා දෙනු ලබන මෙම ශිෂ්‍යත්ව දීමනා ලැයිස්තුවෙහි වෙනසක් කළ හැක්කේ ලබන ජනවාරි මාසයේදී පමණක් බවය. නමුත් ඔලිම්පික් වරම් ලබා ඇති දෙදෙනා වෙනුවෙන් අයි. ඕ. සී. සමඟ සාකච්ඡා කොට විශේෂ යමක් කිරීමට කටයුතු කරන බවද ලේකම්වරයා කීය.





















