ලංකාවට ලැබුණ එකම පදක්කම සූරියවැව නිමාලිගෙන්

126

21 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වෙමින් ඊයේ (07දා) අවසන් දිනයේදී මීටර් 800 කාන්තා ඉසව්ව සඳහා තරග වැදුණ නිමාලි ලියනාරච්චි ලෝකඩ පදක්කම දිනා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලැබුණ එකම පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

ඊයේ පැවැති අවසන් තරගයේදී විනාඩි 2යි තත්පර 3.94කින් තම ඉසව්ව නිමකරමින් තෙවැනි ස්ථානයට පත්වෙමින් ඇයගේ හොඳම පෞද්ගලික කාලය වාර්තා කිරීම කැපීපෙනුණ අතර, පෙරේදා මූලික වටයේ තරගයේදී නිමාලි විසින්ම වාර්තා කරන ලද කාලයට (විනාඩි 2 තත්පර 10.71) වඩා විශාල වර්ධනයකි. කෙසේ වෙතත් දැඩි වර්ෂාව මධ්‍යයේ ඊයේ පැවැති තරගයේදී සූරියවැව නිමාලි ලියනාරච්චි ජයග්‍රහණයෙන් පසුව කියා සිටියේ සෑම දෙයකටම වඩා තමා පදක්කමක් බලාපොරොත්තුව සිටියද දශම ගණනකින් තමන්ට ශ්‍රී ලංකා වාර්තාව (විනාඩි 2 තත්පර 3.85) අභිභවා යෑමට නොහැකි වූ බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූ පරිදිම නිමාලි විසින් මීටර් 800 කාන්තා ඉසව්වෙන් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී පදක්කමක් රැගෙන දුන්නද එය සැමරීමට ඒ මොහොතේදී කිසිවකුගේ සූදානමක් තිබූ බවක්ද පෙන්නුම් කළේ නැත. ඒ බව හොඳින්ම තහවුරු වූයේ නිමාලි තරගය ජයග්‍රහණය කළ මොහොතේ හෝ ඇය පදක්කම් ප්‍රදානෝත්සවයට සහභාගි වන මොහොතේ ඇය අතට ශ්‍රී ලංකා ජාතික කොඩියක් ලබාදීමට කිසිවකුත් කටයුතු කර නොතිබුණි.
තවද පසුගිය වසරේ පැවැති ආසියානු ක්‍රීඩා උළෙල සඳහා මීටර් 800 ඉසව්ව සඳහා තෝරා නොගත් නිමාලි මෙවර බලධාරීන්ට හොඳ පාඩමක් කියා දුන් අතර කොළඹින් කි.මී. 250කට එහා සූරියවැව ජීවත් වන නිමාලිගේ හා ඇයගේ පුහුණුකරු සුජිත් අබේසේකරගේ සැමදා එකම ඉල්ලීම වූයේ ක්‍රීඩාව කරගෙන යන්නට පහසුකම් ඇති ක්‍රීඩාංගණයක් ලබා දෙන ලෙසය. වෙනත් බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වඩා වෙනස්ව පෞද්ගලික දේවලට වඩා පොදු යමක් ඉල්ලන නිමාලිගේ අනෙක් සමකාලීන ක්‍රීඩිකාව වන්නේ සූරියවැව ගමේම පදිංචි ගයන්තිකා අබේරත්නයි.

ගයන්තිකාද ඊයේ නිමාලි සමඟ මීටර් 800 කාන්තා ඉසව්වට සහභාගි වූ අතර ඇය මූලික වටයේදී 2 වැනි ස්ථානය ලැබුවද අවසාන තරගයේදී ඇයට හිමිවූයේ 6 වැනි ස්ථානයයි. විනාඩි 2 තත්පර 7.46කින් තම ඉසව්ව නිමකිරීමට ගයන්තිකාට සිදුවූ අතර තවත් ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තුවක් වූ කාන්තා හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකා නදීකා ලක්මාලිට හිමිවූයේ 4 වැනි ස්ථානයයි. මීටර් 52.29ක් දුරක් විසිකර ඇයට බලාපොරොත්තු කඩවූ ප්‍රතිඵලයක් අත්වූ අතර තුන්පිම්ම ඉසව්වේදී ද ශ්‍රී ලංකාවේ විදූෂා ලක්‍ෂානිට හිමිවූයේ 7 වැනි ස්ථානයයි. වර්ෂාව මධ්‍යයේ ඇය වාර්තා කළ දුර මීටර් 12.69කි. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක මංජුල කුමාර විජේසේකරට උස පැනීමේ ඉසව්වෙන් හිමිවූයේ 6 වැනි ස්ථානයයි. වර්ෂාව බාධාවක් වූ එම තරගයේදී ඔහුට තරණය කළ හැකි උපරිම උස වූයේ මීටර් 2.20කි. මීටර් 800 ඉසව්වේ පිරිමි අංශයෙන් තරග වැදුණු ඉඳුනිල් හේරත්ටද 5 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. ඔහුට ඒ සඳහා විනාඩි 1යි තත්පර 51.51ක කාලයක් ගතවූ අතර මීටර් 4 × 400 පිරිමි ඉසව්ව සඳහා තරග වැදුණ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූයේ 5 වැනි ස්ථානයයි. ඒ සඳහා ඔවුන් ගතකළ කාලය විනාඩි 3යි තත්පර 5.79කි.
මේ අතර පෙරේදා පැවැති තරගවලදී පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වට සහභාගිවූ ශ්‍රී ලංකාවේ වරුණ ලක්‍ෂාන්ට සිව්වැනි ස්ථානය හිමිවූ අතර ඔහුට වාර්තා කළ හැකි උපරිම දුර වූයේ මීටර් 76.75කි.

තවද පිරිමි තුන්පිම්ම ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ සංජය ජයසිංහට මීටර් 15.54ක දුරක් වාර්තා කිරීම නිසා 12 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවූ අතර මීටර් 200 පිරිමි අවසන් පූර්ව තරගයට සහභාගිවූ සුරංජය ද සිල්වාට හිමිවූයේ 7 වැනි ස්ථානය බැවින් අවසන් වටයට යෑමට නොහැකි විය. ඔහු ඒ සඳහා ගතකළ කාලය තත්පර 21.57ක් වූ අතර එම ඉසව්වේ සමස්ත තරග කරුවන් අතර ඔහුට 20 වැනි ස්ථානය හිමිවිය.