දුක් කන්දක් රන් පදක්කමක් කළ අඹගමුවේ – යමානි

189

මම තරගයට යන්න බලා ඉන්න හැම දවසකටම කලින් දවසෙ මියගිය අපේ ආච්චි අම්ම මගේ ළඟට ඇවිත් මාව දිරිගන්වනවා. එදා කටාර් යන්න ඉස්සෙල්ලා දවසෙ රාත්‍රියෙත් මා නිදා සිටින වෙලාවෙත් ආච්චි අම්මා මා ළඟට ඇවිත් කිරි වීදුරුවක් දී පුතේ මේක බීලා තරගෙට ගිහින් එන්න කීවා…”

අප සමඟ එසේ ප්‍රකාශ කරනු ලැබුවේ පසුගියදා දෝහා කටාර්හිදී නිමාව දුටු පළමු වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේදී බාලිකා මීටර් 400 කඩලු මතින් දිවීමේ ඉසව්වේ රන් පදක්කම ලක් මාතාවට දිනා දුන් යමානි දුලාංජලීය. “මව්බිම” පසුගිය දිනෙක යමානිගේ ක්‍රීඩා දිවියේත්, ඇගේ ජීවන කැදැල්ලේත් රස මුසු තැන් සොයා කන්ද උඩරටට ගියේය.

ඇය දැනට ජීවත් වන්නේ ගිනිගත්හේන, අඹගමුව මහවැලි ගඟ ඉහළ කොටසේ ආගරඔය නම් වූ පුංචි ගම්මානයේ අඩක් නිම කළ නිවෙසකය.
දහසකුත් එකක් අඩුපාඩු මධ්‍යයේ සිය ජීවිතය ගත කරන්නට සිදුවීම අවාසනාවන්ත තත්ත්වයක් වුවත් එයම යමානිට දිරිය දියණියක් වීමට අවශ්‍ය ආත්ම ශක්තිය එන්නත් කරන්නට ඇතැයි අපට සිතුණේ එම ගමනේදී අප අත්දුටු සංසිද්ධීන් නිසාමය.
ඇගේ පියා නමින් ඩී. එම්. සිරිපාලය. ඔහුට ස්ථීර සාර රැකියාවක්ද නොමැත. නමුත් යමානිත්, ඇගේ වැඩිමහල් සොහොයුරාත් ඉගෙනුමට මෙන්ම ක්‍රීඩාවටද මැනවින් දක්‍ෂතා දැක්වුවද ඔවුන්ගේ එම කුසලතා නඟා සිටුවීමට ශක්තියක් වීමට පියාට හැකියාව තිබුණේම නැත. හරි හමන් රැකියාවක් නොමැති සිරිපාල සිය දරු දෙදෙනා මෙන්ම බිරියව ජීවත් කළේ එදිනෙදා කුලී වැඩ කිරීමෙන් බව අපට පසක් වුවත් අප එම පුවත මෙසේ කියාපාන්නේ ඔවුනට නිගරුවක් කිරීමේ චේතනාවෙන් නොවේ.
ඉන්ද්‍රානි උඩගෙදර, යමානි දියණිය මෙලොවට බිහි කළ ඇගේ දයාබර මවය. සිය දියණිය කුඩා කල සිට ක්‍රීඩාවට දැක්වූ හපන්කම් දෙස බලා ඇය සතුටු වුවද? ඒ සතුට සමඟ යමානිව දිරිමත් කරමින් ඇගේ ළඟ රැඳෙන්නටවත්, සිය කැදැල්ලේ පැවැති ආර්ථික ගැටලුවලින් ගොඩ ඒමට ශක්තියක් වන්නවත් නොහැකි ලෙස යමානිගේ පවුලට කණකොකා හැඬුවේ ඇගේ දයාබර මව හිටි අඩියේ ඔළුවේ පැවැති අසනීපයකට මහනුවර මහ රෝහලේදී සිදුකළ ශල්‍ය කර්මයකින් පසු ඇගේ දෙපා අක්‍රිය වී ඇය රෝගීව ඇඳ මතටම ඇද වැටුණු නිසාය.

එතැන් පටන් යමානිගේ ක්‍රීඩා ලෝකයේ සෙවණැල්ල බවට පත් වුණේ ඇගේ මවගේ අම්මා වන ආච්චි අම්මාය. ඇය ජීවත් වූ හැටන් අධ්‍යාපන කලාපයේ වේවා රටේ ඕනෑම තැනක වේවා පැවැති ක්‍රීඩා තරගයකට යමානිට සෙවණැල්ල වෙමින් ඇය පෙරටු කොටගෙන ගියේ අද ජීවතුන් අතර නොමැති ඇගේ ආදරණීය ආච්චි අම්මාය.
සිය මව රෝගාතුරව ඇඳට වැටුණු දවසේ සිටම යොවුන් වියේ එළිපත්තේ සිටි යමානි දැරියට මවු සෙනෙහස අහිමි වූවාය. ඇයට තේ එකක් හදා දෙන්නට කෑම වේලක් හදා දෙන්නට ඇගේ මවට නොහැකි විය. එක දිගට මාස ගණන් මව රෝහලේ ඇඳ මත සිටියදී ඇගේ එකම රැකවලා වූයේ ආච්චි අම්මාය.
පාසල් යන වයස සපුරන පුංචි යමානි “අ” යන්ත කීවේත් “අ” යන්න ලීවෙත් අඹගමුව විදුහලෙනි. ඇය “5” වසරට පිවිසිදා සිටම දුවන්නට, පනින්නට පාසලේ ක්‍රීඩාවලට ඉදිරිපත් වූවාය.
කුඩා දැරියකව විදුහල් ක්‍රීඩාපිටියේ දැක්වූ ක්‍රීඩාලෝලී බව නිසාම පාසලේ ක්‍රීඩා අංශවල ගුරුවර, ගුරුවරියන්ගේ නොමඳ ආදරය ඇයට නොඅඩුව ලැබිණි. එදා පාසල් ක්‍රීඩාපිටිය තුළ දක්‍ෂ පක්‍ෂකම් දැක්වූ යමානි එතැන් පටන් ගෙවුණ වසර 11ක කාලය පුරාම තමන් ඉදිරිපත් වූ පාසල් මට්ටමේ හැම ක්‍රීඩා තරගයකින්ම ජයග්‍රහණ හිමිකර ගත්තේ කැපී පෙනෙන ලෙසිනි.

එදා සාමාන්‍ය පාසලක්ව පැවැති අඹගමුව විදුහල අද වන විට ප්‍රදේශයේ (හැටන් අධ්‍යාපන කලාපයේ) කැපීපෙනෙන මට්ටමට පත්වූ අඹගමුව විදුහල අද වන විට හඳුන්වන්නේ අඹගමුව මධ්‍ය මහා විද්‍යාලය ලෙසිනි.
යමානිගෙන් අඹගමුව මධ්‍ය විද්‍යාලය බැබළෙන්නට වූ අතර, අඹගමුව මධ්‍ය විද්‍යාලයෙන් යමානිගේ ජීවිතයද ආලෝකවත් වෙන්නට විය. මෙම පුවත ගෙනහැරපාමින් එම විද්‍යාලයේ වත්මන් විදුහල්පති තිලක් නවනන්දන මහතා “මව්බිම”ට මෙසේ කීවේය.
යමානි දියණිය පාසලේ ප්‍රාථමික අවධියේ සිටම ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ දක්‍ෂතා පෙන්වමින් ගුරු ගෞරවය රැක ගනිමින් අධ්‍යාපන කටයුතුවල නියැළුණු බව සිහිපත් කරන්න කැමැතියි.
වසරකට අප සමස්ත ලංකා ක්‍රීඩා තරග 3කට මුහුණ දෙනවා. සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය සර් ජෝන් ටාර්බට් සමස්ත ලංකා තරගාවලිය, රිලේ කානිවල් සමස්ත ලංකා තරගාවලිය ඒ අතර ප්‍රධානයි.

ක්‍රීඩා තරග ඉසව්වලට සහභාගි වීමට අපේ පාසලේ දරුවන් 20 දෙනකු පමණ කොළඹ යනවා. සැබවින්ම මේ ළමයින් වෙනුවෙන් නියමිත මිලක් දරන්න පාසලට ශක්තියක් තිබුණෙ නැහැ. මේ ගැහැනු ළමයින් 20 දෙනාම කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පන්සලක ධර්ම ශාලාවක සති ගණන් නතර වී ක්‍රීඩා කළ අවස්ථා තිබෙනවා. යමානිත් මේ ක්‍රීඩිකා කණ්ඩායමේම කෙනෙක්. මෙම ගැහැනු දරු පිරිස භාරව යන්නේ විදුහලේ ක්‍රීඩා උපදේශක සමන් රණතුංග මහතායි. දරුවන්ගෙ මවුවරු 2ක් පමණක් රැගෙන යනවා.
අපේ ක්‍රීඩා ගුරුවරයා තමයි දින 7ක් පුරා මේ ළමයින්ට උයලා පිහලා දීලා ඉහත කී තරගාවලි තුනටම තරග කරවන්නෙ.
මේ වැඩසටහන වසර 4 – 5 සිටම සිදු කෙරුණා. මේ කාලය පුරා සමන් මහතා මෙම දරුවන් රැගෙන ආගියද අදටත් කිසිදු ප්‍රශ්නයක් ගැටලුවක් නැහැ.
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගවලදී මීටර් 200, 400 මීටර් 400 කඩුලු මතින් දිවීම යන තරගවලදී යමානි රන් කුසලාන දිනා ගත්තා. එම දක්‍ෂතා නිසා තමයි ඇයට මෙවර ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට යෑමට අවස්ථාව ලැබුණෙ.

ඇයව ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබුවමත් ආර්ථික ගැටලු රැසක් මතු වුණා. ඇයට ගමනට අවශ්‍ය මූලික අවශ්‍යතා ඉටුකරලීමට පවා විදුහලේ ආචාර්ය මණ්ඩලය ක්‍රියා කළා. ආචාර්ය මණ්ඩලය සිය කැමැත්තෙන්ම රුපියල් 40,000ක පමණ මුදලක් ඇයට පරිත්‍යාග කළා.
ඇගේ ගමනට අවශ්‍ය ගමන් බලපත්‍රය සකස් කර දුන්නෙත් ජාතික මලල ක්‍රීඩා සංගමයේ වර්තමාන සභාපති ඔලිම්පික් සම්මානලාභී ක්‍රීඩක සුගත් තිලකරත්න මහතායි.
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ (ක්‍රීඩා) අනුර බණ්ඩාර මහතා සුගත්ගේ ජාත්‍යන්තර ක්‍රීඩා පුහුණුකරු වූවාසේම යමානිගේත් ජාත්‍යන්තර ක්‍රීඩා පුහුණුකරුවා බවට පත්වීමත් විශේෂයක්. ආසියානු යොවුන් මලල ක්‍රීඩා උළෙලේ රන් පදක්කම යමානි ලබාගත්තෙත් ඇගේ ක්‍රීඩා පුහුණුකරු වූ ජාත්‍යන්තර ක්‍රීඩා උපදේශක අනුර බණ්ඩාර මහතා සමඟ දෝහා කටාර් ගිය ගමනේදීය.

ඉතිරි කොටස ලබන සතියේ…