ෆිෆා හොරු 7ක් අත්අඩංගුවට – ජගත් පාපන්දු සම්මේලන සභාපති සටන අදයි

137

අද ස්විට්සර්ලන්තයේ සුරිච් නගරයේදී ජගත් පාපන්දු සම්මේලන සභාපති සටන පැවැත්වීමට සියල්ල සූදානම් කර තිබියදී සාමුහික පරීක්ෂණ මණ්ඩලයක් විසින් හෙළිකර ගන්නා ලද තොරතුරු මත සුරිච් පාපන්දු සම්මේලනයේ ප්‍රබල නිලධාරීන් 7 දෙනකු ස්විට්සර්ලන්ත පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබිණි.

එම සාමුහික පරීක්ෂණ මණ්ඩලයෙන් සිදුකරන ලද පරීක්ෂණයට අනුව 14 දෙනකුට චෝදනා නඟා ඇති අතර අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන් 7 දෙනෙකි.

තවම මෙම චූදිතයන් 14 දෙනාගෙන් නව දෙනකුම ජගත් පාපන්දු සමුළුවේ නිලතල තනතුරු දරන්නන් බවත් ඉතිරි පස්දෙනා අනුබද්ධ සංගම්වල නියෝජිතයන් බවත් වාර්තා වේ.

සිදුකර ඇති පරීක්ෂණ අනුව 2010 වසරේ ලෝක පාපන්දු කුසලාන තරගාවලිය පැවැත්වෙන නගරය තෝරා ගැනීම සඳහා පැවැති තරගයේදී එම අවස්ථාව දකුණු අප්‍රිකාවට ලබාදීම වෙනුවෙන් මෙම නිලධාරීන් අතර අල්ලස් ලෙස විශාල මුදලක් හුවමාරු වී ඇති බව හා අද පැවැත්වෙන නිලවරණයේදී තමන්ගේ මනාපය ලබාදීම සඳහා අතිවිශාල මුදල් ප්‍රමාණයන් අල්ලස් ලෙස හුවමාරු වී ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි පැවැසේ.

පවතින තත්ත්වය මත ඇමෙරිකාව ජගත් පාපන්දු සම්මේලනය සමඟ පවත්වන සබඳතා අතහැර දැමීමේ අවදානමක්ද මතුව ඇති අතර අද පැවැත්වෙන නිලවරණය වර්ජනය කරනවාද නැද්ද යන අවසන් තීරණයට එළැඹීම සඳහා යුරෝපීය පාපන්දු සංගමය හදිසි රැස්වීමක්ද කැඳවා තිබිණි.

මෙම ජගත් පාපන්දු නිලවරණයේදී ජෝශප් යෙෆ් බ්ලැටර් සභාපති තනතුරට පස්වැනි හා අවසන් අවස්ථාව ලෙස ඉදිරිපත්ව සිටින අතර ඔහු සමඟ ජෝර්දානයේ අලි අබ්දුල්ලා කුමරු තරග වැදීමට ඉදිරිපත්ව සිටියි.

මෙම තරගය උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි වාර්තා වන අතර මනාප ලබා ගැනීම සඳහා පවතින උග්‍ර තරගය නිසා එම මනාපවල වටිනාකමද ඩොලර් මිලියන ගණනකින් ඉහළ ගොස් ඇත.

වංචා දූෂණවලට ‍ෙදාර විවර වී ඇත්තේ මේ හේතුවෙනි. කෙසේ වෙතත් ජගත් පාපන්දු සම්මේලනයට අනුග්‍රහය දක්වන අඩිඩාස්, කොකාකෝලා, වීසා, සෝනි, ගෑස්ෆෝම්, හුන්ඩායි කියා හා මැක්ඩොනල්ඩ් යන සමාගම්ද මේ ගැටලුව නිසා විශාල අර්බුදයකට මුහුණ පා සිටිති.

ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මෙම වංචා හා ප්‍රෝඩාවන් නිසා ලෝකයේම ආදරයට පාත්‍රව ඇති පාපන්දු ක්‍රීඩාවට බරපතළ අවමානයක් එක්වන බවය.

කෙසේ වුවත් වත්මන් සභාපති ජොශප් සෙෆ් බ්ලැටර් මහතාට චෝදනා එල්ල වී නොතිබිණි.

 

අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන චූදිතයෝ

රෆායල් එස්කුවල් – වැනිසියුලානු පාපන්දු සංගමයේ සාපතිවරයා ලෙස 1988 වසරේ සිට කටයුතු කරන මොහු 69 හැවිරිදි වියේ පසුවෙයි.

නිකලොස් ලෙයොන්ස් – 2013 වසරේ සෞඛ්‍ය හේතූන් මත ෆිෆා විධායක සභාවෙන් ඉවත් වූවෙකි. පැරගුවේ පාපන්දු සංගමයේ නිලධාරියෙකි.

ජෙෆ්රි වෙබ් – කේමන් දූපත් ජාතිකයෙකි. උතුරු සහ මධ්‍යම ඇමෙරිකානු හා කැරිබියානු පාපන්දු සංගමයේ සභාපතිවරයා මෙන්ම ෆිෆා හි උප සභාපතිවරුන් 7 දෙනාගෙන් එක් අයකුද වේ. 50 හැවිරිදිය.

ජැක් වෝනර් – ෆිෆා උප සභාපතිවරයකු ලෙස කටයුතු කර ඇත. ටි්‍රනිඩෑඩ් හා ටුබැගෝ ජාතිකයෙකි. කැරිබියානු පාපන්දු සංගමයේද සභාපති ධුරය දරා ඇති ඔහු 72 හැවිරිදිය. බරපතළම චෝදනා එල්ලවී ඇත්තේ මොහුටය.

එඩොර්ඩෝ ලී – චීන සම්භවයක් ඇති කොස්ටරිකා ජාතිකයෙකි. කොස්ටරිකා සංගමයේ සභාපතිවරයා වන ඔහු 56 හැවිරිදි වියේ පසුවෙයි.

එයුජිනියෝ ෆිගරේඩෝ – උරුගුවේ ජාතිකයෙකි. 83 හැවිරිදි මොහු දකුණු ඇමෙරිකානු පාපන්දු සංගමයේ හිටපු සභාපතිවරයෙකි.

ජෝස් මාරියා මාරිස් – බ්‍රසීල පාපන්දු සම්මේලන සභාපතිවරයාය. දේශපාලනයට පිවිසි පාපන්දු ක්‍රීඩකයකු වන මොහු සාවෝ පාවලෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයාය.

මාරිස් 83 වියැති තැනැත්තෙකි.