දැල් පන්දු පුහුණුකාරිනි හා සහාය පුහුණුකාරිනි පරීක්ෂණ අද

143

ලබන අගෝස්තු මාසයේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක ශූරතා දැල් පන්දු තරගාවලිය සඳහා සහභාගි කරවන 12 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා පිලේ අවසන් තෝරාගැනීම් මැයි 26 හා 27 යන දිනයන්හි කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී උදෑසන සිට පැවැත්වීමට සැලසුම් කර ඇතත් මේ වන විට එම තෝරා ගැනීම් සඳහා සුදුසුකම් සපුරා ඇති ක්‍රීඩිකාවන් 20 දෙනාගේම ඡායාරූප හා ගුවන් බලපත්‍ර තොරතුරු අදාළ තරගාවලි සංවිධායකයන් වෙත දන්වා යවා ඇති බව දැල් පන්දු සම්මේලනයේ සභාපති යසා රාමචන්ද්‍ර මහත්මිය ‘මව්බිම’ට පැවැසුවාය. එසේ කර ඇත්තේ ප්‍රමාදවීම් වළකා ගැනීමට බවද ඇය සඳහන් කළාය.

මම සභාපති තනතුරට පත්වෙලා තවම දවස් 20ක්වත් නැහැ. මේ දවස් 20 ඇතුළත මට කළ හැකි හැම දෙයක්ම කරලා තියෙනවා. වැඩ අවුල් කරලා සතුටු වෙන්න බලාගෙන ඉන්න අයට පේන්නෙම අඩුපාඩු විතරක් කියලත් මම දන්නවා. බොරු චෝදනාවලට උත්තර දිදී ඉන්න මට වෙලාවක් නැහැ. සභාපතිනිය එසේ පැවැසුවේ කණ්ඩායම හා පුහුණුකාරිනියන් තෝරා ගැනීම ප්‍රමාද වීම ගැන සමහරුන් එල්ල කරන චෝදනා පිළිබඳ විමසා සිටි මොහොතේදීය.

මේ අතර අද (19දා) ක්‍රීඩා අමාත්‍යාංශ පරණ ගොඩනැඟිල්ලේ පිහිටි දැල් පන්දු සම්මේලන මූලස්ථානයේදී පෙරවරු 9.00ට ජාතික දැල් පන්දු පුහුණුකාරිනිය හා සහාය පුහුණුකාරිනිය තෝරා ගැනීමේ පරීක්ෂණ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ජාතික පුහුණුකාරිනිය සඳහා අයි.ආර්. තිසේරා, සුභානි උඩවත්ත හා දීප්ති අල්විස් යන තිදෙනා ඉදිරිපත්ව සිටියි. සහාය පුහුණුකාරිනිය සඳහා ද අයි. තිසේරා මහත්මිය ඉදිරිපත්ව සිටින අතර ඇයට අමතරව තමරා ලියනගේ මහත්මියද අයැදුම් කර ඇත.