කොස්‌ කොටා කඩුව මොටවී තිබෙන්නේ දැන් ඉතින් බකන් නිලාන සිටින්නේ

149

ක්‍රීඩාව වැටුණේ හීනෙන්වත් නොසිතූ අර්බුදයකටය. හෙට වෙන්නේ කුමක්‌දැයි කාටවත් උත්තර නැත. කවුරුත් දන්නේද නැත. ක්‍රීඩා අමාත්‍යාංශයද ‘ඇටිකෙහෙල් කෑ’ අයුරින් හැසිරේ. ජාතික ක්‍රීඩා සංගම් හිතූ හිතූ අයුරින් හැසිරේ. සමහරක්‌ සංගම් ‘සිවු වසරේ නීතියට’ සුවච, කීකරු අයුරින් සිය නිලවරණය පවත්වන්නට යෙදුණේය. සමහරක්‌ සංගම් එය තඹයකට මායිම් නොකර නාම යෝජනා ඉදිරිපත් කළේය. මේ අතරේ ජාත්‍යන්තර ඔලිම්පික්‌ කමිටුව ඇතුළු ජාත්‍යන්තර සම්මේලන සියල්ල ශ්‍රී ලංකාව දෙසට දබරැඟිල්ල දික්‌කර සිටියි. මේ අතරේ ක්‍රීඩා අමාත්‍යාංශය විසින්ම කාටත් හොරා ‘තහනම් වචනයක්‌’ පනවාගෙන සිටියි. ඒ වනාහී ‘අතුරු කමිටු’ ය.

ක්‍රිකට්‌ නිලවරණය සඳහා නාම යෝජනා කැඳවා තිබියදී ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු කමිටුවක්‌ පත්කරන ලදී. ඒ පැවැති පරිපාලනය දූෂිත බව ප්‍රකාශ කරමිනි. නිලවරණයක්‌ කැඳවා තිබියදී මෙවැන්නක්‌ කිරීම තරමක්‌ අභව්‍ය විය. දූෂිත යෑයි කියූ පැවැති පරිපාලනයේ වැදගත්ම ධුරයක්‌ වන භාණ්‌ඩාගාරිකවරයාවම අතුරු කමිටුවටද පත්කිරීම තවදුරටත් අමුතු දෙයක්‌ විය. නමුත් මේ සියල්ලට වඩා ගැටලුව වූයේ අතුරු කමිටු පිළිගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට්‌ සම්මේලනය අකමැති වීමය. ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ අතුරු කමිටු පත්කිරීම ඉදිරියේ පෙනය පුප්පාගෙන සිටි ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය දැන් ‘දෂ්ට’ නොකරනු ඇතැයි ක්‍රීඩා ඇමතිවරයා හිතයි. තමන් සමග ඉකුත්දා පැවැති සාකච්ජාවේදී තවත් මාස හත අටක ‘ජීව කාලයක්‌ ‘ අතුරු කමිටුව වෙත ලබාදීමට අයි.සී.සී ය එකඟවූ බව ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය. නමුත් අයි.සී.සී. ය අතුරු කමිටුවට ජීව කාලය දුන්නද ජීවත් වෙන්නට සල්ලි දුන්නේ නැත. අයි.සී.සීය විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතවූ, අතුරු කමිටුව පත්වීමත් සමගින් එසේ නොකර රඳවා ගත් මුදල මේ වන විටද මුදාහැර නැත. ඒ වෙනුවට ඔවුන් ක්‍රීඩා ඇමතිවරයාට කීවේ හිටපු විධායකයේ සහය ලබාගන්නේනම් පමණක්‌ අදාළ මුදල හෝ කොටසක්‌ මුදාහරින බවය. ක්‍රීඩා ඇමැතිවරයාට අවසානයේ හිටපු විධායකයේ සහාය ඉල්ලා සිටිනු හැරෙන්නට වෙන පිළියමක්‌ නොවීය. එහෙත් හිටපු නිලධාරීන් හා මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාව අසාර්ථක වුණි. ඒ නිසා තවම සල්ලි නැත. අයි. සී.සී ය අතුරු කමිටුවට ඉන්න දුන්නද කන්න දෙන්නේ නැති අයුරකි. මේ මන්දපෝෂිත වාතාවරණය යටතේ අතුරු කමිටුවක්‌ පත්කරගැනීමේ ‘දුක’ ක්‍රීඩා ඇමැතිවරයාට හොඳින්ම දැනෙන්නට වී තිබේ.

ඒ නිසාමදෝ ‘අතුරු කමිටු’ යන වචනයට පවා යෙදීමට ක්‍රීඩා අමාත්‍යාංශය දැන් බියව ඇති අයුරකි. ජාත්‍යන්තර සංගම් අතුරු කමිටු හමුවේ දක්‌වන ප්‍රතිචාරය කෙබඳුද යන්න ක්‍රීඩා අමාත්‍යවරයා දැන් ප්‍රායෝගිකවම හඳුනයි. මේ බව හොඳින්ම දැනෙනුයේ වොලිබෝල් සහ රග්බි නිලරවණ දෙස බැලීමේදීය.

වසර 4කට වඩා කාලයක්‌ ජාතික ක්‍රීඩා සංගම්වල මුල් තනතුරු දැරූ නිලධාරීන්ට නැවත පරිපාලන අවස්‌ථාව නොලැබෙන බව නීතියක්‌ ලෙසින් පනවා තිබියදී වොලිබෝල් සම්මේලනය විසින් සිය නිලරවණයට එවා ඇති නාම යෝජනාවේ බහුතරය මෙම සිවු අවුරුදු ‘කතුරට’ හසුවන ඒවාය. රග්බි සංගමයේ කතන්දරයද එසේමය.

ක්‍රීඩා අමාත්‍යාංශය විසින් මෙලෙස සිව් අවුරුදු නීතියක්‌ පනවා ඇති බව දැන දැනත් ඔවුන් විසින් මෙලෙස නාම යෝජනා ඉදිරිපත් කිරීම යනු අද කාලයේ වචනයෙන් කියන්නේ නම් පැහැදිලිවම ‘ගේම’ ඉල්ලීමකි. වඩාත් සභ්‍ය ලෙස කියන්නේ නම් ක්‍රීඩා අමාත්‍යංශයට අභියෝග කිරීමකි. නමුත් මේ අභියෝගය ඉදිරියේ නිලවරණ පැවැත්වීමේ නිසි බලධාරී නිලධාරියා වන ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පවසන්නේ කුමක්‌ද?

නැවත නාම යෝජනා කැඳවා නීතියට පටහැනි නොවන අන්දමින් නිලවරණ පැවැත්විය යුතුය යන්න පමණි. එවැනි නිලවරණ සඳහා නිරීක්‍ෂයකු ලෙසින් ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරියකු නොයවන බව පමණි. ඉන් එහා කිසිවක්‌ ඔහු නොකියයි. අතුරු කමිටු යන වචනය හෝ ඔහු යොදන්නේ නැත. නමුත් ඉතිහාසයේ මෙවැනි අවස්‌ථාවන්හී ‘අතුරු කමිටුව’ අනිවාර්ය වචනයක්‌ බවට පත්ව ඇත්තේය. අතුරු කමිටුව යොදන්නේ ක්‍රීඩා පරිපාලනයක්‌ දඩබ්බර වූ විට පමණක්‌ නොවේ. නියමිත නිලකාලය ඉක්‌මවන මොහොතේ ඡන්දයකින් පත්වූ අලුත් නිලම`ඩුල්ලක්‌ පත්නොවුනහොත් එහිදීද පරිපාලනය භාර කරනුයේ අතුරු කමිටුවලටය.

එසේනම් මේ වන විට වොලිබෝල්, රග්බි මෙන්ම බැඩ්මින්ටන් ආදී සංගම්ද ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කළ අතුරු කමිටු යටතට පත්ව තිබිය යුතුය. 

මේ සටහන තැබෙන්නේ මැයි 14 වැනිදා රාත්‍රියේය. ක්‍රීඩා අමාත්‍යාංශය දුන් නියෝගය පරිදි මැයි 15 වැනිදා වනවිට සියලුම ජාතික සංගම් සිය නිලවරණ පවත්වා අවසන් විය යුතුය (පාපන්දු සම්මේලනය මැයි 23 සිය නිලවරණය පැවැත්වීමට අවසරය ගෙන ඇති බැවින් ඔවුනට මෙම දිනය අදාළ නැත) එම නියෝගයේ විලෝමය නම් මැයි 15 වැනිදා වන විට නිළවරණ පැවැත්වීමට නොහැකි සංගම්වලට මැයි 16 වන විට නීත්‍යානුකූල පාලන බලය අහිමිවන බවය. 

එසේනම් 15 වැනිදා පැවැත්වීමට නියමිතව සිටි සිය නිලවරණය පැය 24කට පෙර කල්දැමූ වොලිබෝල් සම්මේලනය මෙන්ම නිලවරණ කල්දැමූ රග්බි, බැඩ්මින්ටන් ආදී ජාතික සංගම්වලට ඔබ මේ සටහන කියවන මොහොත වන විට බලයක්‌ සහිත නිලධාරීන් නොමැත. ඔබ මේ සටහන කියවන මොහොත වන විට එම සංගම් පවතිනුයේ අරාජිකවය. නැතහොත් ගන්ධබ්බ අවධියකය. ඒවායේ පරිපාලන කටයුතු වෙනුවෙන් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් අත්සන් තැබීමට හිටපු නිලධාරීන්ට කිසිදු බලයක්‌ නැත. එසේ අත්සන් තැබුවහොත් එය නීති විරෝධී වන්නේය. සංගමයේ වියදමක්‌ පිණිස චෙක්‌පතකට, වවුචරයකට අත්සනක්‌ තැබීමට බලය සිටින යමෙක්‌ වේද? මෙවන් වාතාවරණයක එම සංගම්වල වැඩකටයුතු ඉදිරියට යන්නේ කෙසේද?

හරිනම් මෙවැනි අවස්‌ථාවන්හී අතුරු කමිටු පත්කළ යුතුමය. නමුත් ඒ වචනය ‘තහනම් වචනයක්‌’ බවට පත්ව තිබේ. නිල නොවන මාර්ගවලින් අපට වාර්තා වූයේ, තවත් මාස කිහිපයක්‌ තුළ සිවු වසරේ නීතිය අවලංගු කර නැවත සියලු නිලවරණ කැඳවනතුරු අදාළ සංගම්වල හිටපු නිලධාරීන්ට තමන්ගේ පාඩුවේ වැඩකටයුතු කරගෙන යන ලෙසින් ක්‍රීඩාවේ ඉහළම තනතුරක්‌ ව්‍යංගයෙන් පවසා ඇති බවකි. එහිදී අදාළ පුද්ගලයා වචනවලින් නොකියූ නමුත් රටටම ඇසෙන වදන් පෙළ වන්නේ ‘ආයෙත් අතුරු කමිටු කුණ’ බෙල්ලේ එල්ලා ගැනීමට අකමැති බවකි. තවත් උපහැරණයකින් කියන්නේ නම්, අතුරු කමිටු ගිනිපෙනෙල්ලෙන් බැට කෑ ක්‍රීඩා ලොක්‌කන් කණාමැදිරි එළියටත් බියවී ඇති අයුරකි. නමුත් අපට නම් කියන්නට ඇත්තේ ක්‍රීඩා අමාත්‍යවරයා සිය කඩුව කොස්‌ කොටන්නට යොදාගෙනම දැන් යුද්ධයේදී මොටකරගෙන ඇති බවකි.