හිටපු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සම්පූර්ණ සහයෝගය ක්‍රීඩා ඇමතිට

195

හිටපු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජිකයින් සහ සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා අතර හමුවක් අද පස්වරුවේ ක්‍රීඩා අමාත්‍ය කාර්යාලයේදී හිටපු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉල්ලීමකට අනුව පැවැත්වුණි. මෙම සාකච්ඡාව සඳහා හිටපු පාලක මණ්ඩලය පාර්ශ්වයෙන් උපාලි ධර්මදාසනිශාන්ත රණතුංග, මොහාන් ද සිල්වාඅසංග සෙනෙවිරත්නඅජිත පැස්කුවල් සහ හිරන්ත පෙරේරා යන මහත්වරුන් සහභාගී විය.

 

 

ඉතා සුහදශීලී ලෙස පැවැත්වුණු මෙම සාකච්ඡාවේදී දෙපාර්ශ්වය පොදු එකඟතාවයකට පත් වූ අතර හිටපු පාලක මණ්ඩලයේ සාමාජිකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා තමන්ගේ පූර්ණ සහයෝගය ඇමතිතුමන් වෙත ලබාදෙන බව ප්‍රකාශ කළේය.

 

තවද හිටපු පාලක මණ්ඩලයේ විශේෂ අවධානයට ලක්වී තිබූ කරුණක් වන අන්තර් පාලක මණ්ඩලය පත්කිරීම පිළිබඳව ඇමතිතුමන්ගෙන් විමසූ අවස්ථාවේ ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසා සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ තමන් සාකච්ඡා කර තමන්ගේ ස්ථාවරය පැහැදිලි කරදුන් අතර මේ පිළිබඳ ඉදිරි කටයුතු සුදුසු ආකාරයෙන් අවසන් කිරීමට තමන් කටයුතු කරන බවය. එමෙන්ම ක්‍රිකට් අතුරු පාලක කමිටුව තාවකාලික පත්වීමක් බවත්ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ නිලවරණය එළඹෙන ජනවාරි මාසයේදි පැවැත්වීමට කටයුතු කරන බවත් සඳහන් කළේය.

 

තවදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරියේදී ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රියාකාරී සහ උද්යෝගිමත් සාමාජිකයෙකු ලෙස අඛණ්ඩව ක්‍රියාත්මක වන බවය.

 

වංචා හා දූෂණ පැමිණිලි පිළිබඳව හිටපු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජිකයින් කළ විමසුමකදී ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ ඒ පිළිබඳ සොයා බැලීම සඳහා විමර්ශන කමිටුවක් පත්කිරීමට කටයුතු කරන බවය. දෙපාර්ශ්වයේ සාකච්ඡා සාර්ථකව නිමවූ අතර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා හිටපු පාලක මණ්ඩල සාමාජිකයින්ගේ පූර්ණ සහයෝගය ලබාදෙන බවට සහතික විය.

 

අමාත්‍යාංශය වෙනුවෙන් මෙම සාකච්ඡාව සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර,නීතීඥ ජනප්‍රිත් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයේ ලේකම් ප්‍රකාශ් ශාෆ්ටර් යන මහත්වරු සහභාගී වූහ.