සමස්ත බාලිකා ශූරතාව උසස් බාලිකාවන්ට – කිඩ්ස් ඇත්ලටික් මහනුවර කලාපීය තරගාවලිය

175

මෙරට ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබන දරු දැරියන්ගේ නිරෝගී බව ආරක්ෂා කර ගැනීම හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් නෙස්ලේ ලංකා සමාගමේ පූර්ණ අනුග්‍රහය ඇතිව අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය, ශාරීරික හා ක්‍රීඩා සංවර්ධන ඒකකය හඳුන්වා දුන් කිඩ්ස් ඇත්ලටික් හෙවත් ළමා ක්‍රීඩා උළෙලේ මහනුවර අධ්‍යාපන කලාපීය තරගාවලියේ සමස්ත බාලිකා ශූරතාව ලකුණු 45ක් ලබාගත් මහනුවර උසස් බාලිකා විදුහල හිමි කර ගත්තේය.

මෙම තරගාවලිය තුන, හතර හා පහ යන ශේ‍ර්ණිවල අධ්‍යාපනය ලබන දරු දැරියන් වෙනුවෙන් දිවීම්, පැනීම් හා විසි කිරීම් ඉසව් 10ක් සහිතව පවත්වනු ලැබීය. කලාපයේ ප්‍රථමික පාසල් 40ක් නියෝජනය කරමින් මෙම ක්‍රීඩා උළෙලට දරු දැරියන් 600කට අධික පිරිසක් සහභාගි වූ අතර 3, 4 හා 5 යන ශේ‍ර්ණි තුනේම බාලිකා ශූරතා දිනා ගැනීමට මහනුවර උසස් බාලිකා විදුහල සමත්වීම කැපී පෙනුණි.

ලකුණු 35ක් රැස්කරමින් සමස්ත බාලක ශූරතාව මහනුවර විද්‍යාර්ථ විදුහල හිමි කරගත් අතර ඔවුනට තුන ශේ‍ර්ණියේ බාලක ශූරතාවද හිමිවී තිබිණි.

එසේ වුවත් එහි හතරවන ශේ‍ර්ණිය බාලක ශූරතාව මහනුවර කිංග්ස්වුඩ් විදුහලට හා පස්වැනි ශේ‍ර්ණිය බාලක ශූරතාව මහනුවර ධර්මරාජ විදුහලට වශයෙන් බෙදී ගියේය. බාලක බාලිකා අංශ දෙකට අමතරව මිශ්‍ර පාසල් වෙනුවෙන් මිශ්‍ර පාසල් දෙමළ හා සිංහල වශයෙන්ද මෙම තරගාවලියට කණ්ඩායම් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබූ අතර එහිදී 3 වැනි ශේ‍ර්ණියේ සිංහල මිශ්‍ර පාසල් ශූරතාව තලාතුඔය කනිෂ්ඨ විදුහලටද දෙමළ මිශ්‍ර පාසල් ශූරතාව දෙල්තොට මුස්ලිම් විදුහලටද හිමි වූහ.

මෙම ක්‍රීඩා උළෙල අධ්‍යාපන අමාත්‍යාංශයේ ශාරීරික සෞඛ්‍ය හා ක්‍රීඩා අධ්‍යක්ෂ බී.ඒ. අබේරත්න, ව්‍යාපෘති නිලධාරි මෙල්රෝයි ජයමාන්න, නෙස්ලේ ලංකා සමාගමේ සහකාර සභාපති බන්දුල එගොඩගේ හා සන්නිවේදන කළමනාකාර දමිත කුලතුංග ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.