කොදෙව් කාන්තාවෝ 2-1කින් ඉදිරියට – ශ්‍රී ලංකා-කොදෙව් කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලිය

154

තරග හතරකින් සමන්විත ශ්‍රී ලංකා-කොදෙව් කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමය අනුව ලකුණු 18ක ජයක් ලැබූ කොදෙව් කාන්තාවන් තරගාවලිය 2-1ක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත් විය.

කාසියේ වාසිය පරාජය වී තරගයේ ජයග්‍රහණය සඳහා පන්දු වාර 46කදී ලකුණු 215ක ඉලක්කයක් පසුපස හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය නවතා දමන විට පන්දු වාර 40.2කදී ලබා සිටියේ කඩුලු 8කට ලකුණු 170ක් පමණි. නමුත් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව එම පන්දු වාර ප්‍රමාණයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය ඉලක්කය වී තිබුණේ ලකුණු 189කි.

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී ඊයේ (18දා) පැවැති මෙම තරගයේදී ස්ටෙෆානි ටේලර් හා ඩියෙන්ඩ්‍රා ඩොටින් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් එක්කළ නොබිඳුණු ලකුණු 151ක සබඳතාව කොදෙව් කණ්ඩායමේ ජයග්‍රහණයේ මාවත විවර කිරීමට ප්‍රධාන දායකත්වයක් සැපයීය.

ඒ අනුව ටේලර් පන්දු 112කදී හතරේ පහර 9ක් සමඟින් නොදැවී ලකුණු 86ක් හා ඩොටින් පන්දු 72කදී හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 69ක් කණ්ඩායමට එකතු කළහ.

මේ දක්වා එක්දින තරග දෙකකට පමණක් සහභාගි වී සිටින නිපුනි හංසිකා සටන්කාමී පිතිහරඹයක නිරත වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට වෙහෙසක් දැරුවද නම් දැරූ සෙසු පිතිකාරිනියන් දැක්වූ දුර්වල පිතිහරඹය පරාජයට බෙහෙවින් හේතු විය.

දෙපිල අතර පැවැත්වෙන තීරණාත්මක අවසන් එක්දින තරගය හෙට (20දා) මෙම ක්‍රීඩා පිටියේදීම පැවැත්වීමට නියමිතය.

 

ලකුණු සාරාංශය

බටහිර ඉන්දීය කොදෙව් _ 215 (ස්ටෙෆානි ටේලර් නොදැවී 86, ඩියෙන්ඩ්‍රා ඩොටින් නොදැවී 69, සුගන්ධිකා කුමාරි 3/48)

 

ශ්‍රී ලංකාව (පන්දු වාර 40.2කදී කඩුලු 8කට) 170 (නිපුනි හංසිකා නොදැවී 50)