UAE අසරණ කරමින් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

1871

ආසියානු වොලිබෝල් සංගමයේ මෙහෙයවීමෙන්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා ඩයලොග් 4G Home Broadband එක්ව සංවිධානය කරන ප්‍රථම ආසියානු පිරිමි වොලිබෝල් අභියෝගතා කුසලානය අර්ධ අවසන් පූර්ව තරග අද (19) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේ දී එක්සත් අරාබි එමීර් කණ්ඩායම හමු වූ අතර වට 3-0ක් ලෙස එක්සත් අරාබි එමීර් කණ්ඩායම අසරණ කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසෙන්නට සමත් විය.

පළමු වට දෙකේ UAE කණ්ඩායම ශ්‍රී ලංකාවට හොඳ තරගයක් දුන්නත්, තෙවන වටයේ දී ශ්‍රී ලංකාව UAE ක්‍රීඩකයින් අසරණ කළේ ප්‍රබල ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කරමිනි.

සාර්ථක ආරම්භයක් කඳුලෙන් පුරවමින් සවුදිය ශ්‍රී ලංකාව හඬවයි

ආසියානු වොලිබෝල් සංගමයේ පූර්ණ අනුදැනුම සහිතව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය….

පළමු වටයේ පළමු ලකුණ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසින් ලබා ගත් අතර එක්සත් අරාබි එමීර් ක්‍රීඩකයින් ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට තියුණු සටනක් දුන්නේ 5-5ක්, 6-6ක්, 7-7ක් ලෙස තරගය ඉදිරියට ගෙන යමිනි.

පෙර තරගයට සහභාගී නොවුණු දීප්ති රොමේෂ් ඇතුළු ප්‍රබල ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද තරගයට කැඳවා තිබූ නමුත් තරගයේ මුල් භාගයේ එමීර් ක්‍රීඩකයෝ සෑමවිටම ශ්‍රී ලංකාව පසුකර ලකුණකින් ඉදිරියට යනු දක්නට ලැබුණි.

පළමු තාක්ෂණික කෙටි විවේකයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිට ලකුණු තුනකින් ඉදිරියට පැමිණියේ තරගයේ පැහැදිලි වාසියක් ලබා ගනිමින් වුවද, ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දුර්වල ක්‍රීඩා විලාසය හමුවේ අරාබි ක්‍රීඩකයින් ඉතා ඉක්මනින් ලකුණු සම කිරීමට සමත් විය. (10-10)

දෙවන තාක්ෂණික කෙටි විවේකය වන විට 13-13ක්, 14-14ක් ලෙස ඇදී ගිය තරගයේ පෙරමුණ ලකුණු 14-16ක් වන විට එක්සත් අරාබි එමීර් ක්‍රීඩකයින්ට ලැබුණු අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දු එසවීමේ දී යම් දුර්වලතා දක්වනු දක්නට ලැබුණි.

කෙසේ වෙතත් දීප්ති රොමේෂ්ගේ හා ජනිත සුරත්ගේ වේගවත් උස පන්දු ප්‍රහාරයන් අරාබි ක්‍රීඩකයින් අන්දමන්ද කළේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 17-16ක් ලෙස ඉදිරියට ගෙන එමිනි.

ක්‍රමක්‍රමයෙන් ශ්‍රී ලංකා ආවරණය සවිමත් වෙද්දී 20-17ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණට පැමිණි අතර ශ්‍රී ලංකා කණ්ඩායමට හා පුහුණුකරුට කහ කාඩ් පතකින් අවවාද කිරීමට විනිසුරු තීරණය කරන ලදි.

අවසන් ලකුණු කිහිපය ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉතා හොඳින් ක්‍රීඩා කළේ 21-18ක්, 22-18ක්, 23-18ක්, 24-18ක් හා 25-20ක් ලෙසිනි.

දීප්ති රොමේෂ් සුපිරි පිරිනැමීම් තුනක් සමඟින් වටිනා ලකුණු තුනක් හිමි කර දුන්නේ පළමු වටයේ ජය ශ්‍රී ලංකාවට හිමි කර දෙමිනි.

දෙවන වටයේ පළමු ලකුණ එක්සත් අරාබි ක්‍රීඩකයින්ට හිමි වූයේ තියුණු පන්දු හුවමාරු කර ගැනීම් කිහිපයකට පසුවයි.

විනිසුරුට ද ප්‍රබල පීඩනයක් එල්ල වූ මේ තරගයේ විනිසුරු තීරණ ද කිහිප වතාවක්ම අභියෝගයට ලක් වූයේ තරගයේ පැවති උණුසුම නිසාම ය.

1-1ක්, 2-2ක්, 5-5ක්, 8-8ක්,10-10ක් ලෙස තරගය ඉතා තියුණු ලෙස ඉදිරියට ඇදුණේ කණ්ඩායම් දෙකම සුපිරි ක්‍රීඩා විලාශයක් දක්වමිනි.

ලකුණු 14-12ක් ලෙස ශ්‍රී ලංකාව තරගයේ පැහැදිලි පෙරමුණක් ගත්තේ ජනිත සුරත්ගේ කෙටි පන්දු ප්‍රහාරයක් හා දීප්ති රොමේෂ්ගේ සුපිරි පන්දු ස්ථානාගත කිරීමක් නිසාවෙනි.

අරාබි ක්‍රීඩකයින්ගේ දුර්වලතා නිසා ශ්‍රී ලංකා කණ්ඩායම 17-14ක් හා 18-14ක් ලෙස ලකුණු හතරකින් පෙරමුණට පැමිණියත්, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දු පිරිනැමීමේ දී නොසිතූ දෝෂ කිහිපයක් කළේ එක්සත් අරාබි එමීර් කණ්ඩායමට ලකුණු පූජා කරමිනි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තවත් 3-0ක ජයක් සමරති

ආසියානු වොලිබෝල් සංගමයේ පූර්ණ අනුදැනුම සහිතව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය…

කෙසේ වුවත් 21-16ක් ලෙස ශ්‍රී ලංකාව ලකුණු පහකින් පෙරමුණට පැමිණ 22-16ක්, 24-17ක්, 25-17ක් ලෙස දෙවන වටයේ ජය හිමි කර ගත්තේ එක්සත් අරාබි එමීර් ක්‍රීඩකයින්ට සිතා ගැනීමටවත් අවස්ථාවක් ලබා නොදී වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තෙවැනි වටය ඉතා උද්යෝගයෙන් ආරම්භ කළ අතර  පළමු ලකුණ අරාබි ක්‍රීඩකයින් හිමිකර ගත්තත්, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉතා ඉක්මනට තරගයේ පෙරමුණ ගත්තේ ලකුණු 7-4ක් ලෙසයි.

ජනිත සුරත් සුපිරි පන්දු පිරිනැමීම් කිහිපයක් සාර්ථක කර ගත් අතර ලකුණු 8-4ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණට පැමිණියත්, ශ්‍රී ලංකාවේ අනෙක් ක්‍රීඩකයින්ගේ පන්දු පිරිනැමීම් එතරම් හොඳින් තිබුණේ නැත. (9-6)

අනතුරුව එමීර් ක්‍රීඩකයින් ප්‍රබල ක්‍රීඩා විලාසයකට අවතීර්ණ වුවත් ශ්‍රී ලංකා ප්‍රවීණ ක්‍රීඩකයෝ ඉතා හොඳින් පන්දු ගොඩ ගත්තේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ද පුදුම කරමිනි. (11-6)

ප්‍රබල සවුදියට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල අභියෝගයක්

1 වැනි වරට සංවිධානය කරනු ලබන ආසියානු පිරිමි වොලිබෝල් අභියෝගතා කුසලානයේ ශ්‍රී ලංකාව…

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලකුණු 15-08ක් ලෙස විශිෂ්ට ක්‍රීඩා විලාසයක් සමඟින් පෙරමුණට ඇදුණු අතර ලසිඳු ඉශාන්ගේ සුපිරි කෙටි පන්දු ප්‍රහාර හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අරාබි ක්‍රීඩකයින්ට වඩා දෙගුණයකටත් වඩා වැඩියෙන් ලකුණු රැස් කිරීමට සමත් විය. (18-8)

දැඩි පීඩනයකට හසු වූ අරාබි ක්‍රීඩකයින් හට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දැඩි ප්‍රහාරයක් එල්ල කළ අතර තරගය අතරවාරයේ දී ශ්‍රී ලංකා නායකයාට විනිසුරු රතු කාඩ්පතක් ලබා දුන්නේ එක්සත් අරාබි එමීර් කණ්ඩායමට ලකුණක් ලබා දෙමිනි.

22-14ක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සෑහෙන ඉදිරියට පැමිණි අතර දක්ෂ ලෙස ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 25-15ක් ලෙස තෙවැනි වටයේ සුපිරි ජයක් හිමිකර ගත්තේ තරගයේ ජය මෙන්ම අවසන් පූර්ව වටයේ සිය අසුන ද වෙන් කර ගනිමිනි.        

ලකුණු සාරාංශය

  • පළමු වටය: ශ්‍රී ලංකාව 25 – 20 එක්සත් අරාබි එමීර්
  • දෙවන වටය: ශ්‍රී ලංකාව 25 – 17 එක්සත් අරාබි එමීර්
  • තෙවන වටය: ශ්‍රී ලංකාව 25 – 15 එක්සත් අරාබි එමීර්

දිනයේ පළමු අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කළේ, පෙරේදා (17) ශ්‍රී ලංකාව පරාජය කළ ප්‍රබල සවුදි අරාබි කණ්ඩායම හා මොංගෝලියාවයි. වට 3-0ක් ලෙස මොංගෝලියාව පරාජය කළ සවුදි ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට පිවිසුණු පළමු කණ්ඩායම බවට පත්විය. තරගයේ ලකුණු සටහන දැක්වුණේ  25-17ක්, 25-17ක් හා 25-15ක් ලෙසයි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න << 

දිනයේ දෙවන තරගයේ දී මලයාසියානු කණ්ඩායම වට 3-1ක් ලෙස පරාජය කළ ඉරාක කණ්ඩායම දෙවන අවසන් පූර්ව අසුන තමන් සතු කර ගැනීමට සමත් විය. එම තරගයේ ලකුණු සටහන දැක්වුණේ 27-25ක්, 21-25ක්, 23-25ක් හා 20-25ක් ලෙසයි. 

දිනයේ අවසන් අර්ධ අවසාන පූර්ව තරගයේ දී බංගලාදේශය හා හොංකොං තරග වැදුණු අතර වට 3-0 ක් ලෙස හොංකොං පහසුවෙන් පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසුණු අවසන් කණ්ඩායම බවට පත් වන්නට බංගලාදේශය සමත් විය. තරගයේ ලකුණු සටහන දැක්වුණේ 22-25ක්, 20-25ක් හා 16-25ක් ලෙසයි.

ඒ අනුව ශ්‍රී ලංකාව, ඉරාකය, සවුදි අරාබිය හා බංග්ලාදේශය අවසන් පූර්ව වටයේ සිය අසුන් වෙන් කරගත් අතර හෙට (20) ශ්‍රී ලංකාව හා ඉරාකයත්, සවුදි අරාබිය හා බංගලාදේශයත් අවසන් මහා තරගයට පිවිසීමේ අරමුණින් තරග වදිනු ඇත.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<