රුහුණු – මායාවරුන්ගේ රන් සිංහ ගැටුම

14th Battle of the Golden Lions

63
14th Battle of the Golden Lions

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලය අතර 14 වැනි වරටත් පැවැත්වෙන රන් සිංහයන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 28 සහ 29 දෙදින කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

2012 වසරේ දී රුහුණු – මායා ලෙසින් ඇරඹි මෙම වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ මෙතෙක් වාර්තා වී ඇත්තේ එක් තරග ජයග්‍රහණයක් පමණක් වන අතර අනෙක් සෑම තරගයක් ම නිමා වී ඇත්තේ විසඳුමකින් තොරවයි.

රන් සිංහයන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරග ඉතිහාසය කෙටි එකක් වූව ද විද්‍යාල ද්විත්වයේ ම  ඉතිහාසය දශක ගණනාවක් ඈතට ඇදී යයි. ඒ අතුරින් රාහුල විද්‍යාලය ශතක සපිරු ඉතිහාසයකින් ද සහ ධර්මපාල විද්‍යාලය වසර 84ක ඉතිහාසයකින් ද සමන්විතයි.

එම ඉතිහාසයන් පිරික්සීමේ දී ජාතික මට්ටමට පා තැබූ ක්‍රිකට් ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් ද ඒ අතර හමු වෙනවා. ඔවුන් අතුරින් ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු රවින්ද්‍ර විමලසිරි, ගාමිණි පෙරේරා, චින්තක ජයසිංහ, ඔලිවර් රණසිංහ, රංජිත් වේරගල, පී. කේ. පාලිත, පසන් වනසිංහ, සේනක අඟුළුගහ සහ දීපාල් ගුණවර්ධන වැන්නෝ ධර්මපාල ඉතිහාසයේ ද සහ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, සුරාජ් රන්දීව්, ජේ. සී. ගමගේ, මහින්ද ඒකනායක සහ අජන්ත ලංකාතිලක වැන්නෝ මාතර රාහුල විද්‍යාලයීය ඉතිහාසයේ ද අමතක කළ නොහැකි ක්‍රිකට් චරිත බවට පත් ව තිබෙනවා.

රාහුල විද්‍යාලය

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන රාහුල විද්‍යාලයීය නායක සදෙව් ගමගේ මෙවර තරගවාරයේ දී ලකුණු 382ක් සහ කඩුලු 54ක් දවා ගනිමින් රාහුල විද්‍යාලය වෙනුවෙන් වඩාත් දක්ෂතා දැක් වූ තුන් ඉරියව් ක්‍රීඩකයා බවට පත් වෙනවා. ඔහුගේ ඉනිම් අතරට ශතකයක් ද ඇතුලත් වන අතර හොඳම පන්දු යැවීම බවට පත් වූයේ ලකුණු 25කට කඩුලු 6ක් දවා ගැනීමයි.

එමෙන් ම කණ්ඩායමේ උප නායක සසිනු බට්ටගේ ද තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් දක්ෂතා දැක්වීම විශේෂත්වයක්. ඔහු නිමා වූ වසරේ දී තරග 13ක දී ලකුණු 863ක් ලබා ගනිමින් රාහුල විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු බවට පත්  ව සිටිනවා. පන්දු යවන්නෙක් ලෙසින් ද දක්ෂතා දැක් වූ ඔහු ලබා ගත් කඩුලු සංඛ්‍යාව 26ක්.

ඔවුන් දෙදෙනාට අමතර ව ඔෂාන් තෙනුක ද දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් කණ්ඩායමේ විශ්වාසය දිනා තිබෙනවා. ඔහු නිමා වූ තරග සමයේ දී ලකුණු 264ක් සහ කඩුලු 38ක් ලබා ගෙන තිබෙනවා.

එමෙන් ම වමත් පිතිකරු ජනිරු විජේවර්ධන තරග 13ක දී ලකුණු 417ක් ද, පවන් පබසර ලකුණු 245ක් ද සහ නදිල් සංදේශ් ලකුණු 206ක් ද ලබා ගනිමින් දක්ෂතා දක්වමින් කණ්ඩායම හා එක් වෙනවා.

පන්දු යවන්නන් අතුරින් වමතින් වේග පන්දු යවන උචිත නේත්‍ර කඩුලු 30ක් දවා ගනිමින්  දක්ෂතා දැක් දක්වා තිබෙනවා.

රාහුල විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

සදෙව් ගමගේ (නායක), සසිඳු බට්ටගේ (උප නායක), මිනුග ලක්විඳු, ඔෂාන් තෙනුක, උචිත නේත්‍ර, පවන් පබසර, ජනිරු විජයවර්ධන, නදිල් සංදේශ්, ආයු කවිරාජ්, ප්‍රමුදිත නවාංජන, දෙව්මිණ ගම්මන්පිල, හිරුන් මන්යුග, දුල්මිණ පතිරණ, සඳලු රාජපක්ෂ, නවිරු නෙත්වන්.

 

මනෝජ් මදුශංක (ක්‍රිකට් භාර ආචාර්ය), තරිඳු නරසිංහ (ප්‍රධාන පුහුණුකරු), යුවරාජ් කන්කන්ගේ (සහාය පුහුණුකරු)

ධර්මපාල විද්‍යාලය

කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ නායක නෙත්මිණ නිර්මාල්. ඔහු මීගමුව සාන්ත පීතර විද්‍යාලයට එරෙහි ව සහ කළුතර විද්‍යාලයට එරෙහිව වාර්තා කරන ලද ශතකයන් සමඟ ලකුණු 433ක් ලබා ගැනීමට සමත් වෙනවා. එමෙන් ම ඔහු කණ්ඩායමේ සිටින වඩාත් විශ්වසනීය ම පන්දු යවන්නා බවට ද පත් ව සිටිනවා. ඔහු නිමා වූ තරග සමයේ දී කඩුලු 36ක් දවා ගනිමින් දක්ෂතා දක්වන අතර ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයට එරෙහි ව ලකුණු 69කට දවා ගත් කඩුලු 5යි.

ධර්මපාල විද්‍යාලයීය පිතිකරු ලැයිස්තුවේ 2 වැනි ස්ථානය හිමි කර ගන්නේ නිසලිත සංදිව්. ඔහු මීගමුව සාන්ත පීතර විද්‍යාලයට එරෙහි ව සහ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට එරෙහි ව අර්ධ ශතක ලබා ගනිමින් තරග 8ක දී ලකුණු 428ක් ලබා ගැනීමට සමත් වෙනවා. එමෙන් ම පන්දු යවන්නෙක් ලෙසින් ද දක්ෂතා දක්වන ඔහු නිමා වූ තරගවාරයේ දී කඩුලු 16ක් දවා ගන්නවා.

ඊට අමතර ව ධර්මපාල විද්‍යාලයීය පිතිකරු ලැයිස්තුවේ සිතික සංදිල් අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 346ක් ද සහ ප්‍රවීන් රන්හිරු ශතකයක් සමඟින් ලකුණු 307ක් ද ලබා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.

පන්දු යවන්නන් අතුරින් නෙත්මිණ නිර්මාල් ට අමතර ව යොමාල් ඩැනියෙල් කඩුලු 19ක් ද සහ විහඟ නිම්සර කඩුලු 18ක් දවා ගනිමින් දක්ෂතා දක්වමින් කණ්ඩායමේ විශ්වාසය දිනා තිබෙනවා.

ධර්මපාල විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

නෙත්මිණ නිර්මාල් (නායක), දිනුර නෙත්විඳු, ශමින් යශෝධ, උදුල විශ්වජිත්, අනුහස් මිහිරාන්, රමිරු මන්දීප, විහඟ නිම්සර, තිමත් තෙනුජ, සිතික කටුගම්පළ, යොමාල් ඩැනියෙල්, ප්‍රවීන් රන්හිරු, නිසලිත සංදිව්, මෙනුශ පබසර, නිම්නත් වින්සර, විරුණ වත්මිර, නිසල් අදීප, තරුෂ සොනාල්, සනුග දුල්මික, විරාන් රණතුංග, නිමන්ත ෆොන්සේකා.

 

සමීන් කඳනාරච්චි (ප්‍රධාන පුහුණුකරු),

දෙවිදුහල් අතර පැවැත්වෙන එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයට මාර්තු මස 30 වැනි දා එම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

රන් සිංහයන්ගේ සටනට එක් වෙන ධර්මපාල විද්‍යාලයීය සහ රාහුල විද්‍යාලයීය ක්‍රීඩකයන්ට ThePapare.com හී සුබ පැතුම්!

මෙම තරගයේ පන්දුවෙන් පන්දුව සජීවී අත්දැකීම් Dialog TV නාලිකා අංක 127 සුසර කර ගැනීමෙන් ThePapare 2 නාලිකාව ඔස්සේ සේ ම ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<