කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර මහාමාන්‍ය ඩී. එස්. සේනානායක අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන “නිල් මහා සටන” වාර්ෂික ක්‍රිකට් තරගය මේ මස 6, 7 සහ 8 යන තෙදින කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වේ.
1879 වසරේ දී කොළඹ ගාලු මුවදොර ක්‍රීඩාංගණයෙන් ඇරඹි මෙම තරගය එතැන් සිට නොකඩවා පවත්වාගෙන යෑම හේතුවෙන් ලොව ඒ ආකාරයෙන් පවත්වාගෙන යනු එක ම විද්‍යාලාන්ත මහා ක්‍රිකට් තරගය ලෙසින් ද ඉතිහාසයට එක් ව තිබේ.
එමෙන් ම මෙම තරගය ලෝක ඉතිහාසයේ පැරණිත ම වාර්ෂික මහා ක්‍රිකට් තරග අතර 2 වැනි ස්ථානය හිමි තරගය ලෙසින් ද සැලකේ. එය දෙවැනි වන්නේ ඔස්ට්‍රේලියාවේ, Adelaide හී St. Peters විද්‍යාලය සහ Prince Alfred විද්‍යාලය අතර පැවැත්වෙන මහා ක්‍රිකට් තරගයට පමණක් වීම ද විශේෂත්වයක්. එම තරග ආරම්භ කර ඇත්තේ නිල් මහ සටනට පෙර 1878 වසරේදීයි.
ශ්‍රී ලාංකීය දේශපාලන පිටියේ සහ විවිධ ක්ෂේත්‍රයන් හී නම් දැරූ බොහෝ දෙනෙක් ද නිල් මහා සටහන් ඉතිහාසය වර්ණවත් කර තිබීම විශේෂත්වයක්. ඒ අතර නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අගමැති ඩී. එස්. සේනානායක, හිටපු අගමැති ඩඩ්ලි සේනානායක සහ ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ යන මහත්වරුන් සාන්ත තෝමස් විද්‍යාලය නියෝජනය කරමින් ද, ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන, ශ්‍රී ලංකාවේ තෙවැනි අගමැති ශ්‍රීමත් ජෝන් කොතලාවල, හිටපු කතානායක ශ්‍රීමත් ෆොරෙස්ටර් ඔබේසේකර සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පළමු වෛද්‍ය මහාචාර්ය මොහොමඩ් අජ්වාර්ඩ් මාර්කර් යන මහත්වරුන් රාජකීය විද්‍යාලය නියෝජනය කරමින් ද නිල් මහා සටනේ සටන් සගයන් ව සිට ඇත.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබූ නිල් සටන්කාමීන් ද බොහෝ දෙනෙක් සිටිනවා. ඒ අතර රංජන් මඩුගල්ලේ, අසන්තා ද මෙල්, ජෙහාන් මුබාරක්, කිත්රුවන් විතානගේ, කුසල් ජනිත් පෙරේරා, භානුක රාජපක්ෂ, ලසිත් ඇඹුල්දෙණිය සහ චාමික කරුණාරත්න වැන්නෝ රාජකීය විද්‍යාලය නියෝජනය කරමින් ද සහ මයිකල් තිසේරා, අනුර තෙන්නකෝන්, දුලිප් මෙන්ඩිස්, ගයි ද අල්විස්, සාලිය අහංගම, කෞෂික් අමලීන්, කපිල විජේගුණවර්ධන, ජීවන් මෙන්ඩිස් සහ කෞෂාල් සිල්වා වැන්නෝ සාන්ත තෝමස් විද්‍යාලය නියෝජනය කරමින් ද මෙම ඉතිහාසය වර්ණවත් කර තිබෙනවා.
මෙවර නිල් මහ සටන 146 වැනි වරට පැවැත්වෙන අතර මේ දක්වා පැවැති තරග අතුරින් රාජකීය විද්‍යාලය 36 වතාවක් ද සහ සාන්ත තෝමස් විද්‍යාලය 35 වතාවක් ද ජයග්‍රහණ වාර්තා කරගෙන සිටිනවා. අනෙකුත් තරග ඉතිහාසයට එක් වෙන්නේ විසඳුමකින් තොරව නිමා වූ තරග ලෙසයි.
නිල් සටන් තරග ඉතිහාසයේ ආසන්නත ම ජයග්‍රාහකයන් වන්නේ රාජකීය විද්‍යාලයයි. 2023 වසරේ දී දසිස් මංචනායකගේ නායකත්වයෙන් යුත් රාජකීය විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 181ක ජයග්‍රහණයත් ලබමින් ඉතිහාසයේ වැඩිම ජයග්‍රාහකයන් ලෙසින් ඉහළට පැමිණීමට සමත් වීම විශේෂත්වයක්. සාන්ත තෝමස් විද්‍යාලය අවසන් වරට ජයග්‍රහණයක් ලබා ඇත්තේ 2018 වසරේ දී සිතාර හපුහින්නගේ නායකත්වය යටතේයි.
මෙවර තරගයේ දී රාජකීය විද්‍යාලය රමිරු පෙරේරා යටතේ ද සහ සාන්ත තෝමස් විද්‍යාලය කවිඳු ඩයස් යටතේ ද නිල් සටනට එක් වීමට නියමිතයි.
රාජකීය විද්‍යාලය
මෙවර රාජකීය කණ්ඩායම නිල් සටනට එක් වෙන්නේ පෙර වසරේ දී නිල් මහා සටනට එක් වූ ක්‍රීඩකයන් වැඩි ප්‍රමාණයක් ද කැටිවයි. එහි දී නායක රමිරු පෙරේරා හට පැවැරී ඇති වගකීම අති විශාලයි. විශේෂයෙන් ම තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් ලෙසින් වර්ගීකරණයට ලක්ව සිටින ඔහු ප්‍රතිවාදීන්ගේ ප්‍රධාන ඉලක්කයක් ද විය හැකියි.
රමිරු පෙරේරා මෙවර තරග සමයේ දී තරග 10ක ඉනිම් 17කට එක් වෙමින් ශතක 3ක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 636ක් ලබා ගනිමින් ද සහ කඩුලු 28ක් ලබා ගනිමින් ද මෙම තරගය හා එක්වෙනවා.
පිතිකරුවන් අතුරින් රාජකීය කණ්ඩායමේ වඩාත් විශ්වාසය දිනා ඇත්තේ විමත් දින්සර. ඔහු නිමා වූ තරග සමයේ දී තරග 10ක ඉනිම 16ක දී ලකුණු 729ක් ලබා තිබෙනවා. ඊට ශතක 3ක් සහ අර්ධ ශතක 4ක් ද ඇතුලත්.
උප නායක රෙහාන් පීරිස් තරග 11ක ඉනිම 17ක දී ශතකයක් සහ අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 683ක් ලබා ගනිමින් ද ඉදිරි පෙළ පිතිකරු අසුන්වල වැජඹෙනවා.
ඊට අමතර ව ඉසුල ගීගනගේ තරග 13ක ඉනිම 18ක දී අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 447ක්, තෙවිඳු වේවැල්වල තරග 11ක ඉනිම 16ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 447ක්, යසිඳු දිසානායක ඉනිම 15ක දී අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 399ක් සහ හිරුන් ලියනාරච්චි අර්ධ ශතකයක් සමඟින් ලකුණු 352ක් ද ලබා ගනිමින් පිතිකරුවන් අතර විශ්වාසය දිනා තිබෙනවා.
පන්දු යැවීමේ දී නායක රමිරු පෙරේරාගේ සහයෝගයට සන්ඳුල් අබේවර්ධන කඩුලු 23ක් ද, රනුක මලවිආරච්චි කඩුලු 17ක් ද, යෙනුල බණ්ඩාර සහ රයන් සුගතදාස කඩුලු 14ක් බැගින් ද සහ කුචිල රන්මණ්ඩල කඩුලු 10ක් ද ලබා ගනිමින් මෙවර තරගයේ දී රාජකීයයන් වෙනුවෙන් දක්ෂතා දැක් වීමට පෙළ ගැසී සිටිනවා.
රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම:
රමිරු පෙරේරා (නායක), රෙහාන් පීරිස් (උප නායක), රනුක මලවිආරච්චි, ඉසුල ගීගනගේ (කඩුලු රකින්නා), විමත් දින්සර, යසිදු දිසානායක, තෙවිඳු වේවැල්වල, හිරුන් ලියනාරච්චි, කුචිල රන්මණ්ඩල, සෙහඳු සූරියආරච්චි, සන්ඳුල් අබේවර්ධන, දුශේන් උඩුවෙල, අනුෂ් පොලොනෝවිට, චනිතු කංකානම්ගේ, යෙනුල බණ්ඩාර, ශේන් විජේරත්න, තරුල් අම්පෙමොහොට්ටි, රයන් සුගතදාස, කාලිඩ් රහිම්ඩීන්, සෙහඳු සූරියාරච්චි.
නිලධාරීන්:
අනුර ප්‍රශාන්ත (ක්‍රිකට් භාර අචාර්ය), ගාමිණි පෙරේරා (ප්‍රධාන පුහුණුකරු), ප්‍රගීත් ප්‍රනාන්දු (දෙවැනි පෙළ පුහුණුකරු), චරිත් ප්‍රනාන්දු (සහාය පුහුණුකරු), විමුක්ති පෙරේරා (වේගපන්දු පුහුණුකරු), හේමන්ත ආරියවික්‍රම (දත්ත සටහන්කරු)
- තැන තැන Big Match තොරතුරු
- 75 වැනි රන් මහා සටන ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි
- සුලෝහිත සංග්‍රාමය විසඳුමක් නැතිව අවසන් වේ
- මහින්ද සහ තර්ස්ටන් විද්‍යාල සම ශූරයින් ලෙස කිරුළු දරයි
- පාසල් ක්‍රිකට් තරග රැසක් දින දෙකේ සිට දින තුන දක්වා පරිවර්තනයක්
සාන්ත තෝමස් විද්‍යාලය
ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය ද මෙවර නිල් මහ සටනට එක් වෙන්නේ පෙර වසරේ කිහිප දෙනෙක් ද එක්වයි. කණ්ඩායමේ නායක කවිඳු ඩයස් නිමා වූ පාසල් ක්‍රිකට් තරග සමයේ දී සාර්ථක නායකයෙක් ලෙසින් කටයුතු කළ ද ඔහුට තරගාවලිය පුරා එතරම් ම දක්ෂතා දැක්වීමට හැකි වෙන්නේ නෑ. ඔහුගේ දක්ෂතා ලෙසින් සටහන් වෙන්නේ තරග 13ක දී අර්ධ ශතකයක් සමඟින් ලබා ගත් ලකුණු 220ක් සහ ලබා ගත් කඩුලු 27ක් ලෙසයි. පන්දු යැවීමේ ඔහුගේ හොඳම දක්ෂතාව ලෙසින් සටහන් වෙන්නේ කොළඹ සාන්ත පීතර විද්‍යාලයට එරෙහි ව ලකුණු 40කට දවා ගත් කඩුලු 6යි.
නිල් සටනට එක් වෙන තෝමස්වරුන්ගේ කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුවේ ඉහළ ම දක්ෂතා දක්වමින් පළමු වැනියා බවට පත් වෙන්නේ දිනෙත් ගුණවර්ධන. ඔහු තරග 13ක ඉනිම 18ක දී ශතක 2ක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 757ක් ලබා ගන්නවා. ඒ අතුරින් ඔහුගේ හොඳම ඉනිම බවට පත් වෙන්නේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට එරෙහි ව ලබා ගන්නා ලද ලකුණු 119යි.
එහි 2 වැනි ස්ථානය තරග 13ක ඉනිම 18ක දී ලකුණු 461ක් ලබාගත් අවිනාශ් ප්‍රනාන්දු ට හිමි වෙනවා. ඔහුගේ ඉනිම් අතර කොළඹ වෙස්ලි විද්‍යාලයට එරෙහි ව ලබා ගන්නා ලද ලකුණු 122ක් සහ තවත් අර්ධ ශතක 2ක් ද ඇතුලත්.
එහි 3 වැනි ස්ථානය මිතිල චාල්ස් වෙත හිමිවෙන අතර ඔහු තරග 13ක ඉනිම් 17ක දී ලකුණු 410ක් ලබා ගන්නවා. එම ලකුණු අතර කොළඹ ආනන්ද විද්‍යාලයට එරෙහි ව නොදැවී ලබා ගත් ලකුණු 100ක් ද සහ තවත් අර්ධ ශතකයක් ද ඇතුලත්.
ඔවුන්ට අමතර ව අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 392ක් ලැබූ ජඩේන් අමරවීර සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 306ක් ලැබූ සදෙව් සොයිසා ද කණ්ඩායමේ සිටින විශ්වසනීය පිතිකරුවන් ලෙසින් වර්ගීකරණයට ලක් ව තිබෙනවා.
කණ්ඩායමේ වඩාත් විශ්වසනීය පන්දු යවන්නා බවට පත් ව සිටින්නේ වමතින් පා දඟ පන්දු යවන ආරන් ද සිල්වා. ඔහු මෙවර තරගවාරයේ දී තරග 13කට එක් වෙමින් කඩුලු 49ක් ලබා ගැනීමට සමත් වෙන අතර ඔහු ගේ හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ කුරුණෑගල සාන්ත අන්තෝනි විද්‍යාලයට එරෙහි ව ලකුණු 27කට දවා ගත් කඩුලු 6යි. එය මෙවර තරගවාරයේ තෝමස්වරයෙක් පෑ ඉහළ ම දක්ෂතාව ලෙසින් ද සටහන් වෙනවා.
සාන්ත තෝමස්වරුන්ගේ පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ අභීත් පරණවිදාන සහ දිනෙත් ගුණවර්ධන ට ද හිමි වෙන්නේ ඉහළ ලංසුවක්. ඔවුන් අතුරින් අභීත් පරණවිදාන කඩුලු 39ක් ලබා ගනිමින් ද සහ දිනෙත් ගුණවර්ධන කඩුලු 21ක් ලබා ගනිමින් ද එකී විශ්වාසය දිනා තිබෙනවා.
සාන්ත තෝමස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම:
කවිඳු ඩයස් (නායක), සදෙව් සොයිසා, දිනෙත් ගුණවර්ධන, අවිනාශ් ප්‍රනාන්දු (කඩුලු රකින්නා), මිතිල චාල්ස්, ජඩේන් අමරවීර, රෙශොන් සොලමන්ස්, Darien Diego, සචිත්‍ර ගුණසිංහ, Ayman Anzary, ආරන් ද සිල්වා, අභීත් පරණවිදාන, යොවෙල් වර්ණකුලසූරිය, අන්ශේන් ද සිල්වා, ශනිල් පෙරේරා, මිනෝන් වර්ණසූරිය, අරිත් අදිකාරම්, චනුත් ඇහැලියගොඩ, නෙතුන් විතානගේ, මහිත් රාජපක්ෂ.
නිලධාරීන්:
කපිල ද සිල්වා (ක්‍රිකට් භාරි ආචාර්ය), නිලංක පීරිස් (ප්‍රධාන පුහුණුකරු), තරංග ලියනපතිරණ (සහාය පුහුණුකරු), තුෂාර කුරේ (දත්ත සටහන්කරු)
දෙවිදුහල් අතර 48 වැනි වරටත් පැවැත්වෙන Mustang’s කුසලාන එක්දින සිමීත පන්දුවාර ක්‍රිකට් තරගය මාර්තු 15 වැනිදා කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වීමට නියමිතයි.
නිල් මහා සටනට එක්වෙන රාජකීය විද්‍යාලයට සහ සාන්ත තෝමස් විද්‍යාලයට ThePapare.com හී උණුසුම් සුබ පැතුම්!
දෙස්- විදෙස් ප්‍රචලිත මෙම තරගයේ උණුසුම ඒ ආකාරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare.com බලාපොරොත්තු වෙනවා. ඒ අනුව පන්දුවෙන් පන්දුව සජීවී අත්දැකීම් Dialog Television හී ThePapare TV HD 1 නාලිකා අංක 126 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<