ශ්‍රී ලංකාවේ අපරාජිත ගමන නිමයි, සිංගප්පූරුව වසර දහයකට පසු කිරුළ දිනයි

Asian Netball Championship 2024 

258
13th Asian Netball Championship 2024 final sri lanka vs Singapore

13 වැනි අසියානු දැල්පන්දු ශූරතාවලියේ දී අනුශූරතාවයෙන් සෑහීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (27) සිදු වුනා.

ඉන්දියාවේ දී ක්‍රියාත්මක වූ මෙම තරගාවලියේ දී අපරාජිත ගමනක යෙදුණු ශ්‍රී ලංකා ක්‍රීඩිකාව අද සිංගප්පූරුව සමඟ අවසන් මහා තරගයට ක්‍රීඩා කළා.

මෙහි පළමු කාර්තුව තුළ තරගයේ වැඩි වාසි සිංගප්පූරුව සතු වූ අතර, එහි දී ඔවුන් ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වුනේ ශ්‍රී ලංකාවට ලකුණු 12ක් පමණක් ලබා දෙමිනුයි.

නමුත් දෙවැනි කාර්තුව තුළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් පෙර වැරදි නිවැරදි කර ගනිමින් තරගයට අවතීර්ණ වූ අතර, එහි දී ඔවුන් ලකුණු 15ක් ලබා ගත්තේ සිංගප්පූරු ක්‍රීඩිකාවන් ලකුණු 11ක් ලබා ගන්නා අතරේ දියි. කෙසේ වෙතත් පළමු කාර්තුවේ ලද වාසිය නිසා සිංගප්පූරුව තරගයේ පළමු අර්ධය නිමා වන විටත් ඉදිරියෙන් සිටීමට සමත් වුනේ ලකුණු 28-27ක් ලෙසයි.

කෙසේ වෙතත් තරගයේ තෙවැනි කාර්තුව තුළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගයේ ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට සමත් වුනා. මෙහි දී ඔවුන් විසින් ලකුණු 15ක් ලබා ගැනීමට සමත් වුනේ සිංගප්පූරු ක්‍රීඩිකාවන් ලකුණු 11ක් රැස් කරනා අතරේදියි.

තෙවැනි කාර්තුව අවසන් වන විට ලකුණු 42-39ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණේ පසු වුනත්, සිව්වැනි කාර්තුව තුළ සිංගප්පූරුව තවත් ලකුණු 13ක් ලබා ගැනීමට සමත් වුනා. නමුත් මෙහි දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 10ක් පමණයි. කෙසේ වෙතත් තරගයේ නියමිත කාලයේ අවසන් තත්පරයේ දී ශ්‍රී ලංකාව ලබා ගත් අවසන් ලකුණ නිසා තරගයේ අවසන් ලකුණු තත්වය 52-52ක් ලෙස සම මට්ටමට පැමිණියා.

මේ අනුව තරගයේ තීරණයක් ලබා ගැනීම වෙනුවෙන් තවත් අමතර කාලයක් තරගය ක්‍රීඩා කිරීමට සිදු වුනා.

ඒ අනුව තරගය පැවැත්වුණු පළමු අතිරේක කාලය තුළ ද දෙපිළ ම ලකුණු 07 බැගින් ලබා ගනිමින් නැවතත් ලකුණු තත්වය 59-59ක් ලෙස සටහන් කිරීමට සමත් වුනා. කෙසේ වෙතත් දෙවැනි අතිරේක කාලය තුළ තරගයේ තීරණය වෙනස් කරමින් ශූරතාව කරා යාමට සිංගප්පූරු ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබුණා. මෙහි දී ඔවුන් විසින් ලකුණු 08ක් ලබා ගැනීමට සමත් වුනත්, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 05ක් පමණයි.

  • සිංගප්පූරුව 67 – 64 ශ්‍රී ලංකාව

මේ අනුව 2018 සහ 2022 වසරවල දී ශ්‍රී ලංකාව විසින් නොකඩවා දෙවරක් ආසියානු ශූරියන් ලෙස කිරුළු දරන අතරේ, අනුශූරතාවයෙන් සෑහීමකට පත් වීමට සිදු වූ සිංගප්පූරුව තම සිව්වැනි ආසියානු ශූරතාව ජයග්‍රහණය කිරීමට අද සමත් වූ අතර, ඔවුන් එසේ ආසියානු ශූරතාව ජයග්‍රහණය කිරීමට සමත් වුනේ වසර 10 පසුව වීමත් විශේෂත්වයක්.

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පස් වැනි වරටත් ආසියානු අනුශූරියන් බවට පත් වුනා.

දෙස්, විදෙස් ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<