1876 වසරේ දී රිච්මන්ඩ් කඳු මුදුණේ ඉදිවූ රිච්මන්ඩ් විද්‍යාලයත් සහ 1892 වසරේ දී දවටගහවත්ත කඳු මුදුණේ ඉදිවූ මහින්ද විද්‍යාලයත් අතර 120 වැනි වරටත් පැවැත්වෙන දකුණුලක “ආදරවන්තයන්ගේ සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 03, 04 සහ 05 තෙදින ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
මෙම තරගය මෙතෙක් පැවැතියේ දෙදින තරගයක් ලෙසින් වන අතර තුන් දින තරගයක් ලෙසින් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.
1905 වසරේ දී සිට පැවැත්වෙන ආදරවන්තයන්ගේ සටන් ඉතිහාසයේ මෙතෙක් වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් වාර්තා කරගෙන සිටින්නේ රිච්මන්ඩ් විද්‍යාලයයි. ඔවුන් මෙතෙක් තරග 24ක් ජයග්‍රහණය කරෙගන ඇති අතර මහින්ද විද්‍යාලය තරග අවස්ථා 23ක දී ජයග්‍රහණ ලබා තිබෙනවා. තරග 66ක් නොවිසඳුණ තරග ලෙසත් සහ 1910, 1911, 1912, 1942, 2020 සහ 2021 වසර 6 දී විවිධ හේතූන් මත ආදරවන්ත තරග පවත්වා නැහැ.
තරග ඉතිහාසයේ අවසන් වරට ජයග්‍රාහකයන් වි සිටින්නේ රිච්මන්ඩ් විද්‍යාලයයි. ඔවුන් 2019 වසරේ තරගය ජයග්‍රහණය කරමින් ආදරවන්තයන්ගේ කුසලානය මේ දක්වා රිච්මන්ඩ් කන්දේ රඳවා ගෙන තිබෙනවා. මහින්ද විද්‍යාලය අවසන් වරට ජයග්‍රහණයක් ලබා තිබෙන්නේ 2008 වසරේ දී යි.
රිච්මන්ඩ් විද්‍යාලය
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාමට මෑත කාලීන ව වැඩිම ක්‍රීඩකයන් ප්‍රමාණයක් බිහි කර ඇති රිච්මන්ඩ් විද්‍යාලයීය නාමය මේ වෙද්දී ක්‍රිකට් පිටියේ කොතැනකත් කියවෙන්නක් බවට පත් ව තිබෙනවා.
වර්තමාන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා, ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ සහ විස්සයි විස්ස කණ්ඩායමේ නායක චරිත් අසලංක මෙන් ම හිටපු ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග සහ කමිඳු මෙන්ඩිස් වැන්නෝ ද රිච්මන්ඩ් ධජය යටතේ ආදරවන්තයන්ගේ සටනට එක් වු සටන් සගයන්.
ඊට අමතර ව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක සුරංග ලක්මාල්, චම්පක රාමනායක සහ චමිල ගමගේ වැන්නෝ ද මාටින් ද සිල්වා වැනි පැරණි ක්‍රිකට් ක්‍රීඩකයෝ ද, ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන් ලෙසින් කටයුතු කරන ධම්මික සුදර්ශන, අනිල් රිදීගම්මනගෙදර සහ උමේෂ් විජේසිරිවර්ධන වැනිනෝ මෙන් ම පර්සි අබේසේකර ද ගෞරවනීය රිච්මන්ඩ්වරුන්.
එමෙන් ම මෙරට පළමු පෙළ ක්‍රිකට් පිටිය නියෝජනය කරන ඉරෝෂ් සමරසූරිය, පබසර වඩුගේ, ඒ. කේ. ටිරෝන්, සිතාර ගිම්හාන්, ටිලංග උදේශන, තවීෂ අභිශේක්, තරිඳු නිර්මාල් වැන්නෝ ද ආඩම්බරකාර රිච්මන්ඩ්වරුන් අතර සිටිනවා.
ඒ ආඩම්බරයත් සමඟින් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ Tier A කාණ්ඩය නියෝජනය කළ රිච්මන්ඩ් විද්‍යාලය මෙවර නිමා වූ තරග වාරයේ දී තරග 13කට සහභාගී වෙනවා.
ඒ අතුරින් මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය සමඟ තරගවල දී පූර්ණ ජයග්‍රහණ ලබා ගැනීමට ඔවුන් සමත් වෙනවා. ඊට අමතර ව කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය, කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට එරෙහි ව පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ගැනීමට ද ඔවුන් සමත් වෙනවා.
පැවැති අනෙක් තරග අතුරින් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය, කොළඹ මහානාම විද්‍යාලය, මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය, මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය, කුරුණෑගල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය වෙතින් පළමු ඉනිමේ පරාජයන්වලට ලක් වෙන ඔවුන් මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතර තරග විසඳුමකින් තොරව අවසන් කරනවා.
එලෙසින් ආ ගමනේ දී රිච්මන්ඩ් විද්‍යාලයීය නායක තමිඳු ප්‍රදීප්ත සිය තරග සමය අවසන් කරන්නේ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට (104) සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට (166) එරෙහි ව ලබා ගත් ශතක ද්විත්වයත් සමඟින් ලකුණු 550ක් ලබා ගනිමිනුයි. පන්දු යවන්නෙක් ලෙසින් ද කටයුතු කරන ඔහු ලත් කඩුලු සංඛ්‍යාව 12ක්.
වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ යූරි කොත්තිගොඩ කණ්ඩායමේ උපනායකත්වයේ කටයුතු කරන 3 වැනි වසරේ ක්‍රීඩකයෙක්. ඔහු නිමා වූ තරග වසරේ දී ලකුණු 200ක සහ කඩුලු 25ක සීමාවන් හී රැඳී සිටිනවා.
කණ්ඩායමේ නිමා වූ තරග අතරින් වැඩිම ලකුණුලාභියා වෙන්නේ නිකිල් ජයවීර. ඔහු කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයට (111), කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට (127) සහ කොළඹ වෙස්ලි විද්‍යාලයට (170) එරෙහි ව ලබා ගත් ශතක සමඟින් ලකුණු 720ක් ලබා ගනිමින් කණ්ඩායමේ විශ්වසනීය ම පිතිකරු බවට පත් ව සිටිනවා.
ඔවුන්ට අමතර ව අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 400ක් ඉක්මවා ලබාගෙන තිබෙන ශෙහාන් ද සොයිසා සහ අර්ධ ශතක ත්‍රිත්වයක් සමඟින් ලකුණු 400ක් ලබා සිටින හේලිත් එදිරිසිංහ ද රිච්මන්ඩ් පිතිකරු බලඇණිය පන ගන්වන ක්‍රීඩකයන් ලෙසින් හඳුන්වනවා.
පන්දු යවන්නන් අතර පළමු වසරට වර්ණලාභී නෙතුජ බාසිත කඩුලු 35ක් ලබා ගනිමින් ප්‍රධාන පන්දු යවන්නෙක් වී සිටිනවා. ඔහුගේ හොඳම පන්දු යැවීම වී ඇත්තේ කොළඹ
මහානාම විද්‍යාලයට එරෙහි ව ලකුණු 50කට දවා ගත් කඩුලු 7යි. ඊට අමතර ව 3 වැනි වසරට ක්‍රීඩා කරන පුබුදු මිහිරංග කඩුලු 35ක් ලබා ගනිමින් ද සහ 2 වැනි වසරට ක්‍රීඩා කරන මලිත් ද සිල්වා කඩුලු 30ක් දවා ගනිමින් ද ප්‍රතිවාදී හමුවේ තම බලය පෙන්විමට බලාපොරොත්තුව සිටිනවා.
රිච්මන්ඩ් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම:
තමිඳු ප්‍රදීප්ත (නායක), යූරි කොත්තිගොඩ (උප නායක), ශෙහාන් ද සොයිසා, නිකිල් ජයවර්ධණ, රවිනු රන්දිනු, මිනග ආරියදාස, බෙවින් ජයවර්ධන, නෙත්සර ආකාශ්, පුනාල් හංසජිත්, තෙනුර ඩයස්, පුබුදු මිහිරංග, මලිත් ද සිල්වා, ටෙනුශ නිම්සර, හේලිත් එදිරිසිංහ, චමෝද් පුන්සර, නෙතුජ බාසිත, රිසිනු රූපසිංහ.
රුසිර මද්දුමහේවගේ (විදුහල්පති), පී. ඒ. ධර්මරත්න (නියෝජ්‍ය විදුහල්පති – ක්‍රීඩා), නුවන් ජයසිංහ (ක්‍රිකට් භාර ආචාර්ය), ඉන්දික චන්දන (ප්‍රධාන පුහුණුකරු), සිදත් ප්‍රියංකර (සහාය පුහුණුකරු).
- 91 වැනි සටනට සූදානම් වන සාන්තුවරයෝ
- වෙස්ලි සහ බෙනඩික්වරුන්ගේ අරගලය
- රුහුණු – මායාවරුන්ගේ රන් සිංහ ගැටුම
- 12 වැනි ලෝක ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට
- ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ලෝක කුසලානයට පුහුණු කිරීමේ වගකීම චාමර සිල්වාට
මහින්ද විද්‍යාලය
වසර 125ක් අභිබවා ගිය ගෞරවනීය අතීතයක් හිමි කීර්තිමත් පාසලක් වන මහින්ද විද්‍යාලයිය ක්‍රිකට් ඉතිහාසය ද සුවිශේෂයි. එහි සැරිසැරීමේ දී හමුවෙන්නන් අතර ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් නායක මාවන් අතපත්තු සහ ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක ලසිත් මාලිංග ද වෙනවා.
ඔවුන්ට අමතර ව ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්, ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවන්, පළමු පෙළ ක්‍රිකට් පිටියේ පෙරළිකාරයන් සේ ම ක්‍රිකට් පරිපාලකයන් රැසකගේ ද ක්‍රිකට් තෝතැන්න වී තිබෙන්නේ මහින්ද විද්‍යාලයයි. එම ලැයිස්තුව ඩග්ලස් ඩයස් ජයසිංහ සහ ප්‍රේමචන්ද්‍ර ද සිල්වා වැනි පැරැන්නෝ ද උපුල් චන්දන, තීක්ෂිල ද සිල්වා, අතුල සමරසේකර, ජයනන්ද වර්ණවීර, ඩී. එස්. ද සිල්වා, ස්ටැන්ලි සිල්වා, උපුල් සුමතිපාල, ගජබා පිටිගල, ඒ. ජේ. සමරසේකර, දිලීප වික්‍රමසිංහ, දුමින්ද වික්‍රමසිංහ, රොමේෂ් බුද්ධික, දෙනුවන් රාජකරුණා, කෞෂල්‍ය ගජසිංහ, නිසල තාරක සහ නවෝද් පරණවිතාන වැන්නන්ගෙන් සමන්විතයි.
එවන් අතීත ක්‍රීඩකයන්ගෙන් සමන්විත වූ මහින්ද විද්‍යාලය මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේ දී පළමු කොටසේ Tier B තරගාවලිය නියෝජනය කරමින් සම ශූයන් වෙමින් එළැඹෙන වසරේ සිට Tier A කාණ්ඩය දක්වා උසස් වීම් ලත් කණ්ඩායමක්. ඔවුන්ගේ එම ගමනේ දී තරග 13කට සහභාගී වෙමින් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය, මොරටු මහ විද්‍යාලය, කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහි ව පූර්ණ ජයග්‍රහණ ලබා ගනිමින් අවසන් කරනවා.
ඊට අමතර ව පැවැති කළුතර සිරි කුරුස විද්‍යාලය, කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුංමගල විද්‍යාලයට එරෙහි ව පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කිරීමට ද ඔවුන් සමත් වෙන්වා.
පැවැති අනෙක් තරගවල දී කොළඹ තර්ස්ටන් විද්‍යාලය, කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලයට වෙතින් පළමු ඉනිමේ පරාජයන්වලට මුහුණ දෙන ඔවුන් මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ මෙවර තරගාවලියේ කොළඹ තර්ස්ටන් විද්‍යාලය සමග පැවැති අවසන් මහා තරගය ද විසඳුමකින් තොරව අවසන් කරන අතර
කුරුණෑගල මලියදේව විද්‍යාලය සමඟ තරගය අතහැර දැමුණ තරගයක් ලෙසින් ද නිමා කරනවා.
ඒ අනුව ආ මහින්ද විද්‍යාලය වෙනුවෙන් කැපී පෙණෙන දක්ෂතා දැක් වූවන් අතර සෙනුක දංගමුවට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ඔහු මාතර සාන්ත තෝමස් විද්‍යාලය සමඟ පැවැති අවසන් පූර්ව තරගයේ දී ලකුණු 200ක් ලබා ගන්නවා. ඒ අනුව ඔහු මෙවර පාසල් ක්‍රිකට් තරගමාලාව අවසන් කරන්නේ ලකුණු 465ක් ලබා ගනිමිනුයි.
පන්දු යවන්නෙක් ලෙසින් ද දක්ෂතා දක්වන සෙනුක දංගමුව කඩුලු 43ක් දවා ගනිමින් කණ්ඩායමේ විශ්වසනීය පන්දු යවන්නෙක් බවට ද පත් ව සිටිනවා.
ඔහුට අමතර ව කණ්ඩායමේ ශතක ලැබූවන් අතරට එක් වීමට වරම් ලැබුණේ දුල්සිත් දර්ශනටයි. ඔහු මොරටු විද්‍යාලයට එරෙහි ව ලකුණු 106ක් සහ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහි ව ලකුණු 106ක් ලබා ගන්නා ලද අතර තරග මාලාව නිමා කරන්නේ ලකුණු 581ක් ලබා ගනිමිනුයි.
ඊට අමතර ව තෙවිඳු රශ්මික ලකුණු 256, රන්දුල මාබරණ ලකුණු 255ක් සහ සෙහස් ආශිංස ලකුණු 222ක් ලබා ගනිමින් මහින්ද විද්‍යාලයීය කණ්ඩායමේ ඉදිරියේ සිටින සටන් සගයන් බවට පත් ව සිටිනවා.
පන්දු යැවීමේ දී අරෝෂ උදයංග කඩුලු 34ක් ලබා ගනිමින් දක්ෂතා දක්වා ඇති අතර ඔහු නිමා වූ තරග සමය අවසන් කරන්නේ මාතර සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහි ව තරගයේ දී කඩුලු 10ක් සහ මොරටු විද්‍යාලයට එරෙහි ව කඩුලු 5ක් ද ලබා ගනිමිනුයි.
ඊට අමතර ව වමතින් වේග පන්දු යවන සදෙව් නෙත්මිණට ද හිමි වෙන්නේ සුවිශේෂී පිළිගැනීමක්. ඔහු නිමා වූ තරගවාරයේ මහින්ද විද්‍යාලය වෙනුවෙන් හොඳම පන්දු යැවීම වාර්තා කළ පන්දු යවන්නායි. කළුතර සිරි කුරුස විද්‍යාලයට එරෙහි ව ලකුණු 23කට කඩුලු 9ක් දවා ගනිමින් පෑ දක්ෂතාවත් සමඟින් ඔහු මෙවර තරගාවලියේ දී කඩුලු 33ක් දවා ගන්නවා.
ඔහුට අමතර ව නායක කවින් රුක්ෂාන් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහි ව ලකුණු 29කට ලබා ගත් කඩුලු 5ත් සමඟින් කඩුලු 23ක් දවා ගනිමින් ද සහ සහන්ජිත් ඉරුගල්බණ්ඩාර සහ මානිත රාජපක්ෂ ද පන්දු යවන්නන් ලෙසින් දක්ෂතා දක්වා තිබෙනවා.
මහින්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
කවීන් රුක්ෂාන් (නායක), අරෝෂ උදයංග (උප නායක), දිනෙත් පැහරසර, තියෝන් හේලික, විනුප නෙත්මිර, සහන්ජිත් ඉරුගල්බණ්ඩාර, දුල්සිත් දර්ශන, සෙනුක දංගමුව, සදෙව් නෙත්මිණ, මානිත රාජපක්ෂ, විශ්මිත සත්සර, චාර්ය පරණවිතාන, රන්දුල මාබරණ, සජීව් පුන්සර, සෙහස් ආශිංස, කවීෂ ගිත්මල්, තෙවිඳු රශ්මික.
ජනක පේදුරුහේවා (විදුහල්පති), එම්. පී. වීරමන් (නියෝජ්‍ය විදුහල්පති – ක්‍රීඩා), එම්. ඩබ්ලිව්. අජිත් (ක්‍රීඩා භාර ආචාර්ය), වයි. නිශාන්ත කුමාර (ක්‍රිකට් භාර ආචාර්ය), අජන්ත කුමාර (ප්‍රධාන පුහුණුකරු), ජගත් සමරකෝන් (කනිෂ්ඨ ක්‍රිකට් භාර ආචාර්ය), සචිත් ලක්මාල් (සහාය පුහුණුකරු)
120 වැනි ආදරවන්තයන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයට එක් වෙන රිච්මන්ඩ් විද්‍යාලයීය සහ මහින්ද විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩකයන්ට ThePapare.com හී සුබ පැතුම්!
දෙවිදුහල් අතර පැවැත්වෙන එක්දින සීමිත පන්දුවාර වාර්ෂික ක්‍රිකට් තරගය මේ මස 11 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ම පැවැත්වීමට නියමිතයි.
තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<