ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් දොළහක්

World Junior Athletic Championship 2024

3
World Junior Athletics Championship 2024

පේරු රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත 2024 ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනෙකු සහභාගී වීමට සූදානමින් සිටිනවා.

එළඹෙන 27 වැනි දා සිට 31 වැනි දා දක්වා පේරු රාජ්‍යයේ Lima හිදි පැවැත්වීමට නියමිත මෙම ශූරතාවලිය වෙනුවෙන් සහභාගී වන කණ්ඩායමේ නායකත්වය මීටර් 100 ධාවක මෙරෝන් විජේසිංහට හිමි වී ඇති අතර, නිමා වූ අසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී කාන්තා තුන් පිම්ම ඉසව්වෙන් රිදී පදක්කමක් ජයග්‍රහණය කළ මදුශානි හේරත් ද මෙම කණ්ඩායමට ඇතුළත්.

මදුශානි විසින් පසුගිය දා කාන්තා තුන් පිම්ම සහ දුර පැනීම ඉසව් ද්විත්වයේම ජාතික ශූරිය බවට පත් වීමට ද සමත් වුනේ ඉතා ඉහළ දක්ෂතා දක්වමිනුයි.

ලෝක ශූරතාවලියට සහභාගී වන කණ්ඩායම;

ජිත්මා විජේතුංග (කාන්තා මීටර් 400), ලෙසඳු අර්තවිදු (පිරිමි උස පැනීම), ජත්‍ය කිරුළු (පිරිමි මීටර් 400), සඳුන් කෝසල (පිරිමි මීටර් 110 කඩුලු පැන දිවීම), තරුෂ මෙන්ඩිස් (පිරිමි උස පැනීම), අයෝමාල් අකලංක (පිරිමි මීටර් 400 කඩුලු පැන දිවීම), විදුසර ඉඳුශාන් (පිරිමි මීටර් 200, 100×4), කෞශාල් තමෙල් (පිරිමි මීටර් 200, 100×4), දිනෙත් වීරරත්න (පිරිමි මීටර් 100×4), අයේශ් මිහිරංග (පිරිමි මීටර් 100×4), මදුශානි හේරත් (කාන්තා දුර පැනීම), මෙරෝන් විජේසිංහ (නායක, පිරිමි මීටර් 100, 100×4)

මේ අතර සැප්තැම්බර් මාසයේ දී චෙන්නායි හිදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 53 දෙනෙකු සහභාගී වීමට නියමිත බවත් වාර්තා වනවා. ඒ අතරට එක් වන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී වන දොළොස් දෙනා ද එම තරගාවලිය නිමා වී චෙන්නායි වෙත පැමිණීමට නියමිත අතර, මෙම ශූරතාවලිය වෙනුවෙන් කාන්තා සහ පිරිමි මීටර් 100 සහ 400 සහය දිවීමේ කණ්ඩායම් හතරම සහභාගී වීමට නියමිතයි.

මෙම තරගාවලි ද්විත්වය පිළිබඳව ම සවිස්තරාත්මක තතු විත්ති ඔබ වෙත රැගෙන ඒමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>