බටහිර ඉන්දීය කොදෙව් පිල පසුගියදා ඉන්දියාවේ කොල්කටා නුවර ඊඩ්න් ගාර්ඩ්න් පිටියේදී පන්දුවාර විස්සයි විස්ස ලෝක ශූරතාවය දිනාගත්තේය. මෙහි ඇති විශේෂත්වය වනුයේ පිරිමි පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය මෙන්ම කාන්තා පන්දුවාර විස්සයි විස්ස තරගාවලියත් ඔවුන් විසින් ජයග්‍රහණය කිරීමය.
මේ අනුව මෙම දක්ෂතා දැක්වූ කොදෙව් කණ්ඩායම පිළිබඳ යළි මතකය අලුත් වූයේය. වර්තමාන ජන සමාජයට කොදෙව්වන්ගේ මෙම නැගී සිටීම ඇතැම්විට පුදුමයට කාරණයක්ව ඇත. ඒ අප දන්නා ආකාරයට පසුගිය 90 දශකයෙන් අනතුරුව කොදෙව් පිල දැකගැනීමට ලැබුණු ආකාරය සම්බන්ධයෙන් පවතින හැඟීම් සමුදායය. එහෙයින් කොදෙව්වන් අහම්බයක් ලෙස ලෝක කුසලානය දිනාගත්තේයැයි ඇතැම් විට ඔවුන් සම්බන්ධයෙන් නොකියවා ඇති, දැක නැති තරුණ පරපුර සිතනු නිසැකය.
බටහිර ඉන්දීය කොදෙව්, එසේත් නැතහොත් ඉංග්‍රීසියෙන් වින්ඩීස් යනුවෙන් හැඳින්වෙන දූපත් රාජ්‍යයන් 15ක් ඒකාබද්ධව තැනී ඇති බටහිර ඉන්දීය ක්‍රිකට් පිල, ක්‍රිකට් ක්‍රීඩාව උගත්තේ යටත් විජිත භාවය හේතුවෙනි. ඒ අනුව සුදු පාලකයන්ගේ ක්‍රීඩාවක් වශයෙන් පැවැති මෙහි පන්දු ඇහිලීම වැනි කාර්යයන් සඳහා යොදාගත් කළු ජාතිකයන් ක්‍රමක්‍රමයෙන් ක්‍රීඩාවේ නියැලීමෙන් එය ඔවුන්ගේ උරුමයක් බවට පත් කරගන්නා ලදි.
බටහිර ඉන්දීය කොදෙව් පිල ටෙස්ට් ජයක් මුලින්ම ලබා ඇත්තේ 1950 වසරේදීය. ඒ එංගලන්තයට එරෙහිව පැවති තරගාවලිය 3-1ක් ලෙස ජයගනිමිනි. කෙසේ වෙතත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාවේ ජාත්‍යන්තර නැගිටීම පැහැදිලි ලෙස විශද කළ පළමු අවස්ථාව වශයෙන් එම ජයග්‍රහණය හඳුන්වන්නට පිළිවන.

ඒ අතර ලෝකයේ පළමු ලකුණු සමවූ ටෙස්ට් කි‍්‍රකට් තරගය වාර්තා කිරීමට ඔවුන්ද දායක වූයේය. ඒ 1960 වසරේදි ඕස්ට්‍රේලියාව සමඟ පැවැති තරගයකදීය. මේ අතර බටහිර ඉන්දීය කොදෙව් කි‍්‍රකට් කී‍්‍රඩාව ලෝකයේ සෙසු රටවල් සමඟ තමන්ගේ නැගී සිටීම ප්‍රදර්ශනය කළ අතර ඔවුන් තම පළමු ටෙස්ට් තරගාවලි ජය වාර්තා කළේ ඕස්ට්‍රේලියාවට එරෙහිව 1964-65 අතර තුර කාලයේදීය. ඒ කොදෙව් දූපත් හි සංචාරය කරන ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කරමිනි. එය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාව වඩා ප්‍රමුදිත කළ ජයග්‍රහණයක් වශයෙන් දැක්විය හැකිය. එහිදී ද අවසන් පන්දුවාරය යවමින් සිටියේ වෙස්ලි හෝල්මය.
මේ අතර බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවකු වන ශ්‍රීමත් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අපට අමතක කළ නොහැකිය. ඒ ඔහු දීර්ඝ කාලයක් තිස්සේ ලෝකයේ හොඳම ටෙස්ට් ඉනිම ක්‍රීඩා කළ පිතිකරුවා වශයෙන් වාර්තාගතව සිටි හෙයිනි. ඔහු එහිදී ලකුණු 365ක් රැස්කරනු ලැබුවේය. ඒ 1965 තරම් ඈත කාලයකදීය. එය සෝබර්ස් විසින් රැස්කළේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිවය. මෙය පසුකාලීනව මුලින්ම බිඳ හෙළනු ලැබුවේද බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවකු විසින්මය. ඒ සුපිරි පිතිකරුවකු ලෙස සැලකෙන බ්‍රයන් ලාරා විසින් රැස්කළ ලකුණු 375 ඉනිම සමඟිනි. එය එංගලන්තයට එරෙහිව 1994 වසරේදී වාර්තා වුණේය. ඒ අනුව ගහට ගහක් මොරටුවේදී හමුවෙන්නා සේ හොඳම පිතිකරු ඉනිම වාර්තා කිරීමට සමත් වූයේ ද කොදෙව්වෙක්ම වීමය. ඒ වසර විසිනවයකට පසුව වීම තවත් අනුස්මරණීය කාරණයකි. කෙසේ නමුත් යළි එය බ්‍රයන් ලාරා විසින්ම ලකුණු 400 දක්වා නොබිඳුනු වාර්තාවක් ලෙස තවමත් ටෙස්ට් ක්‍රිකට් වාර්තා පොතේ සටහන්ව ඇත.
විවියන් රිචඩ්ස්, ගෝඩන් ග්‍රිනිජ්, ඩෙස්මන්ඩ් හෙන්ස්, ජෙෆ්රි ඩූජෝන් වැනි පිතිකරුවන් මෙන්ම මැල්කම් මාර්ෂල්, ජොඑල් ගානර්, මයිකල් හෝල්ඩින්, කර්ට්නි ඇම්බ්‍රෝස්, කර්ට්නි වොල්ෂ් වැනි පන්දුයවන්නන් ද කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාව උඩුයටිකුරු කිරීමට දායක වූ ප්‍රබල ක්‍රීඩකයන් ලෙසින් දැක්විය හැකිය.
දූපත් ගණනාවක් තුළ සංස්කෘතිත්වය එකක් වුවද සමූහත්වය දුරස්වූ රාජ්‍යයක සිට කැරිබියන් දූපත් යනුවෙන් හැඳින්වෙන තනි කණ්ඩායමක් නිර්මාණය කරගනිමින් ලෝකයේ දිග් විජය කරන්නට සමත්වූ කොදෙව් පිල සම්බන්ධයෙන් හා ඔවුන් අද ලබා ඇති ජයග්‍රහණ සම්බන්ධයෙන් අප ගෞරවය දැක්විය යුතුව ඇත්තේ එය බොහෝ දුෂ්කරතා මැද ඇතිකරගත් සම්මුතියක, හඳුනාගැනීම, විශ්වාසයක අසමසම ප්‍රතිඵලයක් ලෙස අර්ථ කථනය කළ හැකි බැවිනි.
කෙසේ වෙතත් හැත්තෑව දශකය වනවිට ලොව ප්‍රබලම කණ්ඩායම බවට පත්වන්නට ඔවුන්ට හැකියාව ලැබිණි. එකල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස්, ක්ලයිව් ලොයිඩ්, සර් විවියන් රිචඩ්ස්, සර් ෆ්රෑන්ක් වොරල්, සර් එවර්ටන් වීක්ස්, සර් ඇන්ඩි රොබට්ස්, සර් ක්ලයිඩ් වෝල්කට් වැනි සුපිරි ක්‍රීඩකයන්ගෙන් සමන්විත විය.

මේ අනුව ඔවුන් එය වඩාත්ම ප්‍රකට කළේ හැත්තෑව දශකයේ සිට යැයි කිව හැකිය. ඒ අනුව හැත්තෑ පහේ ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාව උඩු යටිකුරු කළ පිජාමා ක්‍රිකට් ක්‍රීඩාවේ සමාරම්භක ලෝක කුසලානය වන පෲඩෙන්ෂල් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඔවුන් ශූරයින් විය. එකල මුළු ලෝකයම ඔවුන් හැඳින්වූයේ කණ්නාඩි කාරයා හා ඔහුගේ කොළුරැල වශයෙනි. ඒ ක්ලයිව් ලොයිඩ්ගේ නායකත්වය යටතේය. පිත්තේ ඉදිරිපසින් නොව පිටුපසින් පහරදී හෝ තමන්ට ලකුණු ලැබෙන්නේ නම් එය මැනවි යැයි කොදෙව් ක්‍රිකට් නායකයා කළ ප්‍රකාශයක් අදටත් ක්‍රිකට් ලෝකයේ නොවෙනස්ව පවතින්නකි.
හැත්තෑ නවය වසරේ පැවැති දෙවැනි පෲඩෙන්ෂල් කුසලාන ක්‍රිකට් තරගාවලියේදීද ඔහුට හා ඔහුගේ සගයන්ට ලෝක කුසලානය දිනාගැනීමට හැකියාව උදාවුණේය. එය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම ලෝකයේ විශිෂ්ඨත්වයේ හිනිපෙත්ත මතම රැදවූ කාලයක් විය.
1928 තරම් ඈත කාලයක ලොව හතරවැනි ටෙස්ට් රාජ්‍යය වශයෙන් තේරී පත්වුණු කොදෙව් ක්‍රිකට් ඉතිහාසයේ සමෘදිමත්ම කාලය ලෙස සැලකිය හැක්කේ හැටේ දශකයේ අග භාගයේ සිට අනුවූ දශකයේ මුල් භාගය දක්වා කාලය යැයි කිව හැකිය. ලෝකයේ හොඳම ක්‍රිකට් පිලක් බවට ක්‍රිකට් ක්‍රීඩාවේ විකෘතිකර අංග ලක්ෂණයක් ලෙස එකල සැලකුණු පිජාමා ක්‍රිකට් එසේත් නැතහොත් පැකර්ගේ වාණිජ්‍යය ක්‍රිකට් රැල්ලත් සමඟ තොටමුණකට පැමිණි කොදෙව් පිල අනූව දශකයේදී එම ස්ථානය ශ්‍රී ලංකාවට ලබාදී සමුගෙන පසුබැස්සේ ක්‍රමිකව ඇතිවූ සියල්ල නැතිවී යන බව සනාථන දහම ලොවට පසක් කරමිනි. 90 දශකයෙන් අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් පිලේ සාමූහික දක්ෂතා ඒකල ස්වභාවයක් ගන්නා බවක් දිස්වීම එම පසුබැසීමට හේතුව වශයෙන් දැක්විය හැකිය.

කණ්ඩායම මුහුණ දුන් අගහිගකම්, ඔවුන්ට ඔවුන්ගේම ක්‍රිකට් පාලන කමිටුවෙන් එල්ල වු කුඩම්මා සැලකිළි, ඇතැම් ප්‍රවීන යැයි කියාගත් ක්‍රීඩකයන්ගේ කෙනෙහිලිකම් ආදි එකිමෙකි නොකි දැ ඔවුන්ව පහලට ඇද දැමීමට කටයුතු කළත්, එක්ව එකාමෙන් සියළු දේටම සාර්ථක ලෙස මුහුණ දී ඒ ලබා ගත් ජයග්‍රහනයේ නොඉදුල් සතුට ඔවුන් එදා තරගය දිනු අවස්ථාවේ ඔවුන්ගේ නෙතගින් වැටුනු සතුටු කදුළුවලින් ලෝකයටම පෙන්විය.
තවද එදා ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාවේ කෝටාව අහිමිකළ 1996 ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකාවේ ලෝක ශූර භාවය සම්පූර්ණයෙන්ම අමතක කර හරින ලද අවස්ථාවක් ලෙසින් කොදෙව් පිලේ මෙම නැගී සිටීම අපට හැඳින්විය හැකිය. ඒ අනුව දෛවයේ සරදමක් ලෙසින් බිඳ වැටුණු කොදෙව් කි‍්‍රකට් කී‍්‍රඩාව යළි නැගිටීම සඳහා එම දෛවයෙන්ම අවස්ථාවක් ලැබී තිබේ. ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් විකෘතියක් වශයෙන් සැලකිය හැකි පන්දුවාර විස්සේ ක්‍රිකට් ක්රීඩාවෙනි. අප මේ සම්බන්ධයෙන් විවෘතව දැකිය යුතුව ඇත. එනම් සයුරු රළ කිසිදා වෙරළට නොපැමිණ සයුරු ගැබේ සදාකාලිකව සැඟවිය නොහැකි බව යළිත් ස්ඵුට කරමිනි.























