ශ්‍රී ලංකාව වනිඳු නොමැතිව T20 සටනට පිවිසෙයි

Bangladesh Tour Of Sri Lanka 2025

107
Bangladesh Tour Of Sri Lanka  2025

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු විස්සයි විස්ස තරගය අද (10) පල්ලෙකැලේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගයෙන් ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග සහභාගී නොවන බව මේ වන විට තහවුරු වී තිබෙනවා.

දෙරට අතර පැවැත්වුණු තෙවැනි එක්දින තරගය අතරතුර පිතිකරණයේ යෙදෙමින් සිටිය දී පාදයේ ආබාධයකට ලක් වූ වනිඳු නැවතත් කොළඹ ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානය වෙත කැඳවා තිබෙනවා. කෙසේ වෙතත් ඔහු වෙනුවෙන් වෙනත් ආදේශක ක්‍රීඩකයකු සංචිතයට කැඳවා නොතිබීමත් විශේෂත්වයක්.

අද තරගයට සහභාගී වන බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා ලෙස Litton Das කටයුතු කරනු ඇතැයි ESPN Cricinfo වෙබ් අඩවිය අනුමාන කරනවා.

බංග්ලාදේශය විසින් ක්‍රීඩා කළ අවසන් විස්සයි විස්ස තරග පහම ඔවුන් පරාජයට පත් වී ඇති අතර, ඔවුන් ක්‍රීඩා කළ අවසන් විස්සයි විස්ස තරග 15න් එකොළහක් ම ඔවුන් පරාජය වී තිබීමත් විශේෂත්වයක්.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් බැලූ කල ඔවුන්ගේ පසුගිය තරග වාර්තා ද එතරම් හොඳ මට්ටමක නොමැති බව පෙනෙන්නට තිබෙනවා.

ශ්‍රී ලංකාව අවසන් වශයෙන් ක්‍රීඩා කළ විස්සයි විස්ස තරග 13න් 8ක් පරාජයට පත් වී තිබෙනවා.

ශ්‍රී ලංකාව පාර්ශවයෙන් අද තරගයට දසුන් ශානක හෝ චාමික කරුණාරත්න දෙදෙනාගෙන් එක් ක්‍රීඩකයකු සහභාගී වනු ඇතැයි අනුමාන කල හැකි. එමෙන්ම වනිඳු වෙනුවට ජෙෆ්‍රි වැන්ඩසේ වෙත අවධානය යොමු කිරීමට ද ඉඩ පවතිනවා. කෙසේ වෙතත් මේ වන විට ඉහළ පිතිකරණ දස්කම් දක්වමින් සිටින කුසල් මෙන්ඩිස් සහ නායක චරිත් අසලංක ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රබල තුරුම්පු ලෙස සැලකිය හැකි.

තරගය ශ්‍රී ලංකා වෙලාවෙන් අද රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<